පාකිස්තානයේ සංචාරයක නිරත ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. මුල් පෙළ පිතිකරුවන්ගේ දායකත්වයෙන් ලකුණු 239ක ඉලක්කයක් ලබාදුන් ශ්රී ලංකා ක්රීඩකයෝ, අනතුරුව පාකිස්තාන ඉනිම ලකුණු 140කට සීමා කළහ.
මුල් පෙළ පිතිකරු මෙතුක ගුණරත්නගේ ලකුණු 77ක ඉනිමත්, සඳරු මල්ශාන්ගේ ලකුණු 16කට කඩුලු 3ක් දවාගත් පන්දු යැවීමත් ශ්රී ලංකා ජයග්රහණයේ කැපී පෙනෙන දස්කම් බවට පත්විය. තරගයේ වීරයා ලෙස ද මෙතුක ගුණරත්න නම් කෙරිණි.
මුල්තාන් ක්රිකට් ක්රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකාවට ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගනිමින් පිටියට පිවිසි ශ්රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ මෙතුක ගුණරත්න සහ යෙනුල හේවාවිතාරණ පළමු කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 112කිනි.
පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟ ලකුණු 36ක් ලබා සිටි යෙනුල දුවද්දී දැවී යෑමකට හසුවීමෙන් එම සබඳතාව බිඳ වැටුණි. අනතුරුව මෙතුක සමඟ එක්වූ රෙශෝන් සොලමන්ස් දෙවැනි කඩුල්ලට තවත් ලකුණු 67ක් එක් කළේ ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කරමිනි.
තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කළ මෙතුක, පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 77ක් රැස් කළේය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව රෙශෝන් සොලමන්ස් ද පන්දු 59කදී හතරේ පහර 2ක් සමඟ ලකුණු 42ක් ලබා සිටියදී දැවී ගියේය. ඔහු සඳරු මල්ශාන් සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 25ක සබඳතාවක් ද ගොඩනඟා තිබුණි.
එහෙත් ඉන් අනතුරුව ශ්රී ලංකා ඉනිමේ කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටුණි. සඳරු ලකුණු 20කටත්, තිසඟ පෙරේරා ලකුණු 2කටත් දැවී ගිය අතර නායක ස්ටෙවෝන් පීරිස්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 10ක් පමණි. අවසන් පන්දුවාර කිහිපයේදී සශිත් බණ්ඩාර නොදැවී ලකුණු 21ක් සහ අදීශ ලක්ෂාන් නොදැවී ලකුණු 12ක් ලබාගැනීමෙන් ශ්රී ලංකා ඉනිම කඩුලු 6කට ලකුණු 239ක් දක්වා ඉහළ ගියේය.
පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් ඉසාන් ලකුණු 43කට කඩුලු 3ක් දවාගත් අතර ෆහාඩ් ඉක්බාල් ලකුණු 49කට කඩුලු 2ක් බිඳ හෙළීය.
ලකුණු 240ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ශ්රී ලංකා පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයකි. මුල් කඩුලු 5 ලකුණු 48ක් තුළ දවාගත් ශ්රී ලංකා ක්රීඩකයෝ තරගයේ පාලනය අතට ගත්හ.
හමීඩ් රාසා සහ අර්සලාන් හසන් එක්ව හයවැනි කඩුල්ලට පන්දු 65කදී ලකුණු 38ක් එක් කරමින් පාකිස්තාන ඉනිමට යම් ස්ථාවරත්වයක් ගෙන ඒමට උත්සාහ කළහ. අර්සලාන් පන්දු 32කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 17ක් ලබා දැවී ගිය අතර, හමීඩ් පන්දු 57කදී හයේ පහරක් සමඟ ලකුණු 28ක් රැස් කළේය. ඔහු දුවද්දී දැවී යෑමකට හසුවීමෙන් එම සබඳතාව ද අවසන් විය.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මොහොමඩ් සයිම් පන්දු 47කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 30ක් රැස් කළේය. ආරම්භක පිතිකරු ඩවුඩ් තවුකීර් රානා පන්දු 26කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 26ක් ලබාගත්තේය.
කෙසේ වෙතත්, ශ්රී ලංකා පන්දු යවන්නන් හමුවේ පාකිස්තාන පිතිකරණ පෙළට දිගු සබඳතා ගොඩනැඟීමට නොහැකි වූ අතර, පන්දුවාර 39කදී ලකුණු 140කට සියලු දෙනා දැවී ගියහ. සඳරු මල්ශාන් ලකුණු 16කට කඩුලු 3ක් දවාගනිමින් පන්දුවෙන් කැපී පෙනුණු අතර තිසඟ පෙරේරා ලකුණු 19කට කඩුලු 2ක් දවාගත්තේය. සශිත් බණ්ඩාර, මහිරු කොඩිතුවක්කු සහ තාරුක සමන්ජිත් එක් කඩුල්ල බැගින් දවාගත්හ.
මෙම ජයග්රහණයත් සමඟ තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගනිමින් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට හැකි විය.
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – 239/6 (පන්දුවාර 50) – මෙතුක ගුණරත්න 77, රෙශෝන් සොලමන්ස් 42, යෙනුල හේවාවිතාරණ 36, සශිත් බණ්ඩාර නොදැවී 21, සඳරු මල්ශාන් 20, අදීශ ලක්ෂාන් නොදැවී 12, ස්ටෙවෝන් පීරිස් 10, මොහොමඩ් ඉසාන් 43/3, ෆහාඩ් ඉක්බාල් 49/2,
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – 140 (පන්දුවාර 39) – මොහොමඩ් සයිම් 30, හමීඩ් රාසා 28, ඩවුඩ් තවුකීර් රානා 26, අර්සලාන් හසන් 17, සඳරු මල්ශාන් 16/3, තිසඟ පෙරේරා 19/2





