slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2026
හොංකොං සික්සර්ස් කිරුළ සොයා ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

sinhala editor

තරගාවලියේදී හොඳ දෙයක් කරන්න පුළුවන් – සංගීත් කුරේ

හොඳ ආරම්භක පිතිකරුවන්ගෙන්, ශක්තිමත් මැද පෙළකින් සහ දක්ෂ පන්දු යැවීමේ බලඇණියකින් සමන්විත සමබර ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙවර හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියට එක්වන බව කණ්ඩායමේ නායක සංගීත් කුරේ විශ්වාසය පළ කරයි. තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට තමන් සතු සම්පත් නිසි ආකාරයෙන් කළමනාකරණය කරගත හැකි නම් තරගාවලියේදී හොඳ දස්කම් දැක්වීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේය.

ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 1 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වෙන 2026 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා සය සාමාජික ක්‍රිකට් කණ්ඩායම ඊයේ (27 වැනිදා) හොංකොං දේශය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව කණ්ඩායම මෙලෙස තරගාවලිය සඳහා පිටත්ව ගිය අතර, ඊට පෙර මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නායක සංගීත් කුරේ තම කණ්ඩායමේ සූදානම පිළිබඳව විශ්වාසය පළ කළේය.

“අපි ඇත්තටම පුහුණුවීම් කටයුතුවල නියැළුණා. කණ්ඩායමක් විදිහට හොඳින් පුහුණුවීම් කළා. අපිට තරුණ කණ්ඩායමක් ඉන්නවා. මම හිතනවා තරගාවලියේදී හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.

“ඇත්තටම අපිට සමබර කණ්ඩායමක් ඉන්නවා. හොඳ ආරම්භක පිතිකරුවන්, මැද පෙළ වගේම හොඳ පන්දු යැවීමේ බලඇණියකුත් ඉන්නවා. මම හිතනවා ඒ ක්‍රීඩකයන්ව නිවැරදි තැන්වල යොදාගන්න පුළුවන් වුණොත් තරගාවලියේදී හොඳ දෙයක් කරන්න අපිට හැකි වෙයි කියලා.”

තරගාවලියට පෙර ලැබුණු තොරතුරු අනුව හොංකොංහි තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ තණතීරු යහපත් තත්ත්වයක පවතින බවත්, සෑම තරගයකදීම අලුත් පන්දුවක් භාවිත කරන බැවින් ඒ සඳහා ගැළපෙන ආකාරයෙන් පුහුණුවීම් සිදුකළ බවත් සංගීත් කුරේ පැවසීය.

“ඇත්තටම එහෙන් ලැබුණු තොරතුරු අනුව විකට් හොඳයි. හැම මැච් එකකම අලුත් පන්දුවක් යොදාගන්නවා. ඉතින් අපි ඒ තත්ත්වයට ගැළපෙන විදිහට පුහුණුවීම් කටයුතු කළා.”

සංගීත් කුරේගේ නායකත්වයෙන් මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට සචිත ජයතිලක, රවිඳු ප්‍රනාන්දු, විශේන් හැළඹගේ, මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ සහ චමිඳු විජේසිංහ ඇතුළත් වෙති. නායකත්වයට අමතරව කඩුලු රකින්නාගේ වගකීමද සංගීත් කුරේට පැවරී ඇති අතර, කණ්ඩායම් කළමනාකරු ලෙස සමන්ත දොඩන්වෙල මහතා කටයුතු කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේගවත්ම සහ ආකර්ෂණීයම ආකෘති අතරට ගැනෙන හොංකොං සික්සර්ස් තරගාවලිය මෙවර රටවල් 12ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය. ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ වන තරගාවලියේ සියලු තරග හොංකොංහි ටින් ක්වොන්ග් රෝඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය සමඟ ‘බී’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ඔක්තෝබර් 30 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ස්කොට්ලන්තය සමඟ තරගය ඔක්තෝබර් 31 වැනිදා පැවැත්වේ.

2024 වසරේදී හොංකොං සික්සර්ස් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 වසරේදී එම කිරුළ රැකගැනීමට නොහැකි වුවද, ‘බෝල්’ ශූරතාව දිනාගැනීමට හැකි විය. ලහිරු මධුශංකගේ නායකත්වයෙන් පසුගිය තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාවට මූලික වටයේදී හොංකොං සහ බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ‘බෝල්’ තරග වටයට පිවිසීමට සිදුවිය.

එහෙත් එම තරග වටයේදී දස්කම් අතරට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නේපාලය කඩුලු තුනකින්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 39කින්ද, ඉන්දියාව ලකුණු 48කින්ද පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති අවසන් තරගයේදී ලකුණු 21ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ‘බෝල්’ ශූරතාව දිනාගත්තේය.

ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායම: සංගීත් කුරේ (නායක/කඩුලු රකින්නා), සචිත ජයතිලක, රවිඳු ප්‍රනාන්දු, විශේන් හැළඹගේ, මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ, චමිඳු විජේසිංහ. – කණ්ඩායම් කළමනාකරු: සමන්ත දොඩන්වෙල මහතා.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee