slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2026
“අහිමි වූ ඕවර 100 තරගයේ තීරණයට බලපෑවා” – ධනංජය ද සිල්ව

sinhala editor

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී අද (13 දා) පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, අවසන් දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම යළි තරගයට අවතීර්ණ වූ ආකාරය සතුටට කරුණක් බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක සහ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ධනංජය පෙන්වා දුන්නේ, පළමු ඉනිමේදී පාකිස්තානයට ලකුණු 400කට වැඩි සංඛ්‍යාවක් ලබාදීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන් යළි තරගයට අවතීර්ණ වීම කැපී පෙනෙන කාරණයක් බවයි.

පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩනැගීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ධනංජය ද සිල්වා, පන්දු 254කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 167ක් රැස් කළේය. ඔහුගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාවට පළමු ඉනිමේදී ලකුණු 446ක් ලබාගැනීමට හැකි වූ අතර, එය පාකිස්තානයේ පළමු ඉනිමට වඩා ලකුණු 12ක වාසියක්ද විය.

පිත්තෙන් කණ්ඩායම වෙනුවෙන් සිය වගකීම ඉටු කළ ධනංජය, තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී කණ්ඩායමේ දක්ෂතා, තරගයේදී අහිමි වූ ක්‍රීඩා කාලය සහ නව ටෙස්ට් නායකත්වය පිළිබඳවද අදහස් දැක්වීය.

එමෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් සිය උපරිම දක්ෂතා දැක්වූ බවත්, කෙසේ වෙතත් මෙම තණතීරුවේ පන්දු යවන්නන්ට යම් සහායක් තිබූ බැවින් පන්දු යැවීමේදී තවත් වැඩි යමක් කිරීමට අවස්ථාව තිබූ බවත් ඔහුගේ අදහස විය.

“අපි මුලින් පන්දු යවලා ලකුණු 400කට වැඩි සංඛ්‍යාවක් ලබාදුන්නා. ඒත් නැවතත් තරගයට අවතීර්ණ වීම ඇත්තටම සතුටුදායකයි. පිතිකරුවන් ඔවුන්ගේ උපරිමය කළා. නමුත් මේ තණතීරුවේ පන්දු යවන්නන්ට යම් සහායක් තිබුණා කියලා මම හිතනවා. ඒ නිසා පන්දු යවන්නන්ට මීට වඩා විශේෂ යමක් කරන්න තිබුණා කියලයි මගේ අදහස“ යැයි ධනංජය පවසයි.

තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් කරා යෑමට නොහැකි වූ ප්‍රධානතම හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ අහිමි වූ ක්‍රීඩා කාලයයි. වර්ෂාව සහ අයහපත් ආලෝක තත්ත්වය ඇතුළු බාධා හේතුවෙන් තරගයේ ඕවර විශාල සංඛ්‍යාවක් අහිමි වූ බවත්, එම තත්ත්වය යටතේ තරගයේ ප්‍රතිඵලයක් ලබාගැනීම අසීරු වූ බවත් ධනංජය පැවසීය.

“ඇත්තටම කාලය තමයි ප්‍රධාන හේතුව. අපිට තරගයේ ඕවර 30ක් 40ක් විතර අහිමි වුණා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනවා නම් ඒ අහිමි වූ ඕවර 30-40 තුළ දඟ පන්දු යවන්නන්ගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඕවර 56ක් විතර යවලා ප්‍රතිඵලයක් ලබාගන්න තිබුණා. නමුත් කාලගුණය සහ අනෙකුත් දේවල් එක්ක අපිට ඕවර ගොඩක් අහිමි වුණා. සමස්තයක් ලෙස ගත්තොත් ඕවර 100ක් විතර අහිමි වුණා.”

මේ අතර, සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 7ක් දවාගනිමින් කැපී පෙනුණු පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක සාකිබ් ඛාන්ගේ දක්ෂතාවද ධනංජයගේ ඇගයීමට ලක්විය.

“ඔහු ඉතා හොඳ ක්‍රීඩකයෙක්. මංගල තරගයේදීම කඩුලු හතක් ලබාගන්නවා කියන්නේ ඉතා හොඳ දෙයක්. ඔහු පුහුණු තරගයේදීත් හොඳින් පන්දු යැව්වා. ඔහුට ලැබුණු අවස්ථාවෙන් තමන්ගේ වටිනාකම ඔප්පු කරලා පෙන්නුවා.”

මේ අතර, ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීම සම්බන්ධයෙන්ද ධනංජය අදහස් දැක්වීය. සුදු පන්දු තරග රටා දෙකේදීම කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ බැවින් ටෙස්ට් කණ්ඩායමේ වගකීමද ඔහුට භාරදීමට සුදුසුම කාලය එළැඹ ඇති බව තමන් විශ්වාස කළ බව ධනංජය සඳහන් කළේය.

“මම හිතුවා නායකත්වය අත්හැරීමට සුදුසුම කාලය මේක කියලා. සුදු පන්දු කණ්ඩායම් දෙකේම නායකත්වය දැරුවේ කුසල් මෙන්ඩිස්. ඔහුට ටෙස්ට් කණ්ඩායමත් හොඳින් හසුරුවන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඔහු ඒ වගකීම හොඳින් ඉටු කළා කියලා මම හිතනවා“ යිද ධනංජය පවසයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee