slc
logo
Home   |    News
ජූලි 13, 2019
ජාතික තලයේ ක්‍රීඩකයින්ට අභියෝග කළ හැකි අය සිටිනවා – යොවුන් පුහුණුකරු හෂාන්ගෙන් ඉඟියක්

Sri Lanka Cricket

ගෙවී ගිය මාස කිහිපය තුළ සැඟවුණු දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් රැසක් සොයා ගැනීමට හැකිවූ බව පවසන වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න, ඒ අතර ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින්ට අභියෝග කළ හැකි ක්‍රීඩකයින් රැසක් සිටින බවද අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය මෙම මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා රංගිරි දඹුලු සහ පල්ලකැලේ ක්‍රීඩාංගණවලදී ආරම්භ වන අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ අද (12 දා) පැවැති මාධ්‍ය හමුවේදී වයස අවුරුදු 19 න් පහළ පුහුණුකරුවා ඉහත අදහස් පළ කර සිටියේය.

නම් කරන ලද කණ්ඩායම් අතර වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයින් 28 දෙනෙකු ඇතුළත්ව සිටින අතර සෙසු සියල්ලෝම දිස්ත්‍රික් සහ පාසල් මට්ටමි නියෝජනය කරමින් පළාත් තරග වටයට තේරී පත්වී සිටින ක්‍රීඩකයෝ වෙති.

Four Captains of the U19 Super Provincial Teams posing for a photograph

“තෝරපු ප්‍රමාණයෙන් ක්‍රීඩකයින් 28 දෙනෙක් ඉන්නවා අන්තිම අවුරුද්ද තුළ ලංකාවට ක්‍රීඩා කරපු අය. අනිත් අයත් දක්ෂ ක්‍රීඩකයින්. විශේෂයෙන් ඔවුන් අතර ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින් 28 දෙනාට අභියෝග කරන්න පුලුවන් ක්‍රීඩකයෝ ඒ කණ්ඩායම් වල ඉන්නවා” යැයි පවසන තිලකරත්න මහතා සැබෑවටම සිදුවිය යුත්තේ එයම බවද වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

“ඇත්තටම ඒක තමයි වෙන්න ඕන. අපි බලන්නේ මේ 28 දෙනාට අභියෝග කරන්න පුලුවන් ක්‍රීඩකයින් ඉන්නවා නම් ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කරලා ඊළඟ පියවර අරගෙන යන්න. ඊළඟට ජාතික තලයට එන දක්ෂතා ඇති ක්‍රීඩකයින්ව හඳුන ගන්න මේ තරගාවලිය විශාල දායකත්වයක් ලබා දේවි” යැයිද තිලකරත්න මහතා සදහන් කරයි.

ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතරින් ඒ ඒ ක්‍රිකට් පළාත් නියෝජනය වන පරිදි කණ්ඩායම්වල නායකයින් නම් කිරීමට කනිෂ්ඨ තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. ඒ අනුව මහනුවර කණ්ඩායමේ නායකත්වය ත්‍රිත්ව විදුහලේ රුවින් පීරිස්ටද, ගාල්ල කණ්ඩායමේ නායකත්වය රිච්මන් විදුහලේ අභිෂේක් කහදූවආරච්චිටද, දඹුල්ල කණ්ඩායමේ නායකත්වය වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජයටද සහ කොළඹ කණ්ඩායමේ නායකත්වය රාජකීය විදුහලේ කමිල් මිෂාරටද ලබාදී තිබේ.

නම් කරන ලද කණ්ඩායම් අතරට උතුරු නැගෙනහිර පළාත් නියෝජනය වන පරිදි ක්‍රීඩකයින් දෙදෙනකුද තරගාවලියට ඇතුළත්ව සිටින අතර ඔවුන් දඹුල්ල කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

“මම යාපනයේ සිට මාතර දක්වා සෑම පැත්තකටම ගිහින් තියෙනවා. ඒ යද්දී හැංගිච්ච දක්ෂතා තියෙන ක්‍රීඩකයින් ගොඩක් දැක්කා. ඒ සියලු දෙනාටම ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට මේ තරගාවලිය හොඳ අවස්ථාවක්” යැයි ද තිලකරත්න මහතා අවසන් වශයෙන් පැවැසීය.

කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන ක්‍රිකට් පළාත් 4 නියෝජනය වන පරිදි නම් කර ඇති කණ්ඩායම් මූලික වටය යටතේ ලීග් ක්‍රමයට තරග වදිනු ඇත. ඒ අනුව එක් කණ්ඩායමකට තරග 3 කට සහභාගිවීමේ අවස්ථාව උදාවන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් යුගලය අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙම මාධ්‍ය හමුව සඳහා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු වූ හෂාන් තිලකරත්න මහතාට අමතරව දේශීය ක්‍රිකට් තරග මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න ඇතුළු කණ්ඩායමේ හතරේ නායකින් සහභාගිවූහ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar