slc
logo
Home   |    News
ජූලි 31, 2019
කුලසේකරගේ සමුගැන්ම අමරණීය කරමින් සිංහයෝ එක්දින තරගාවලිය ජය ගනිති

Sri Lanka Cricket

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශ පිල ලකුණු 122 ක දැවැන්ත පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලසිත් මාලිංගගේ සමුගැනීමේ තරගයේදී ලබා දුන් විජයග්‍රාහී සමුගැනීම පරිදිම වූ අමරණීය මතකයක් නුවන් කුලසේකරගේ සමු ගැනීම වෙනුවෙන් වෙන්වූ තරගයේදී ලබා දීමට අද (31 දා) සමත්වූහ. එම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් වශයෙන් ජය ගැනීමටද ශ්‍රී ලංකාව සමත්විය.

වසර 4 කට පසු ලද මෙම පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට සිය මව්බිමේ පැවැති එක්දින තරගාවලියකදී සියළුම තරග ජය ගැනීමට සමත්ව ඇත්තේ 2015 වසරේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදීය. තරග 3 කින් සමන්විතව පැවැති එම තරගාවලියේදී 3-0 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ නමුත්,  ඉන් පසු සිය මව්බිමේදී මුහුණ දුන් කිසිම එක්දින තරගාවලියක් ජය ගැනීමට අපොහොසත් විය.

එක්දින පිලේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්වීමෙන් පසු සිය මව්බිමේදී කණ්ඩායම මෙහෙයවන ලද පළමු එක්දින තරගාවලිය බවට පත්වූ මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වීමද විශේෂත්වයකි. පළමු තරග 2 ම පරාජයට පත්ව තිබියදී මෙම තරගය ජය ගනිමින් ගෞරවාන්විත තරගාවලි අවසානයක් කරා යෑම බංග්ලාදේශ පිලේ අරමුණ වුවත්, ලකුණු 296 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිල ලකුණු 172 කට සීමා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නුවන් කුලසේකරගේ සමුගැනීමේ සාදයට අමරණීය මතකයක් එක් කළහ.

මෙම තරගාවලියේ ලද පරාජයත් සමඟ බංග්ලාදේශ පිල අවසන් වරට සහභාගි වුණු එක්දින තරග 5 ම පරාජයට පත්වීම විශේෂත්වයක් වන අතර එය 2014 වසරේ සිට මේ දක්වා ඔවුන් ලද දරුණුතම තරග පරාජය ලෙසින්ද සටහන් වීම කැපී පෙනෙයි.

බංග්ලාදේශ හඹා යෑම ආරම්භයේ සිටම ග්‍රහණය තර කළ කසුන් රජිත එම ආරම්භක පිතිකරුවන් වූ නායක ටමීම් ඉක්බාල් සහ එනමුල් හක්ව වේලාසනම ප්‍රේක්ෂකයන් බවට පත් කළේය. පළමු කඩුලු 2 ම ලකුණු 29 ක් තුළ බිඳ වැටීම නිසා පීඩනයට පත් බංග්ලදේශ ඉනිම ගොඩ ගැනීම සඳහා මුෂ්ෆිකර් රහීම් සහ බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෞම්‍ය සර්කාර් උත්සාහ ගත්තද දසුන් ශානකගේ පන්දු යැවීම ඊට හරහට හිටියේය.

තණතීරුවේ තරමක් මැද කෙටී පිතිකරුවාගෙන් පිටතට දෝලනය වන ආකාරයෙන් ශානක එවන ලද පන්දුව රහීම්ගේ පිත්තේ පිටත දාරයේ වැදුණු අතර උඩ පන්දුවක් ලෙස ස්ලිප් ස්ථානයට ඇදී යෑමේදී කුසල් මෙන්ඩිස් එය සුරැකිව රැක ගත්තේය. කණ්ඩායමේ සිටින එකම විශේෂඥ පිතිකරුවා වූ රහීම්ගේ කඩුල්ල දවා කගත් ශානක අනතුරුව මොහොමඩ් මිතුන්වද දවා ගත්තේ බංග්ලාදේශ පිල තවත් අසරණත්වයට පත් කරමිනි. එතැනින් නොනැවතුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ පිතිකරුවන් ග්‍රහණයට නතු කර ගනිද්දී එකා පිට එකා දැවී යෑම නවතාලිය නොහැකි විය.

බංග්ලාදේශ පිල වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වූ සෞම්‍ය සර්කාර් ලදකුණු 69 ක් ලබා ගත් අතර පසුපෙළින් පැමිණ නොදැවී ලකුණු 39 ක් ලබාගත් ටයිජුල් ඉස්ලාම් හැර සෙසු එකම පිතිකරුවකු හෝ ලකුණු 15 සීමාව ඉක්මවාලීමට අපොහොසත් වූහ. බංග්ලාදේශ ඉනිම 36 වැනි පන්දුවාරය නිමාවට පත් වද්දී පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු දසුන් ශානක ලකුණු 27 කට කඩුලු 3 ක්ද කසුන් රජිත සහ ළහිරු කුමාර කඩුලු 2 බැගින්ද දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම මුළුමනින්ම රඳා පැවැතියේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම වටාය යන්න කිවහොත් නිවැරදිය. 23 වැනි පන්දුවාරයේදී සිට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් අවසන් පන්දුවාරය වන තෙක් රැඳී සිටිමින් ශ්‍රී ලංකා ඉනිමේ නැන්ගුරම බවට පත්වීය. ප්‍රථමයෙන්ම කුසල් මෙන්ඩිස් සමඟ එක්වූ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 121 කදී ලකුණු 101 ක් ද පස්වැනි කඩුල්ල වෙනුවෙන් ළහිරු තිරිමාන්න වෙනුවට කණ්ඩායමට පැමිණි දසුන් ශානක සමඟ එක්ව වේගවත් ලකුණු 52 ක්ද එක් කරමින් ලකුණු 300 සීමාව ආසන්නයට ශ්‍රී ලංකා ඉනිම රැගෙන යෑමට මූලිකත්වය ගත්හ.

Angelo Mathews & Dasun Shanaka

සුපුරුදු ලෙසින් ආරම්භය මන්දගාමී වූ මැතිව්ස්ගේ ඉනිමේ පළමු ලකුණු 10 සම්පූර්ණ කිරීම සඳහා පන්දු 21 කට මුහුණ දුන් නමුත්, අවසන් පන්දුවාරය යැවූ සෞම්‍ය සර්කාර්ගේ ගොදුරක් වෙමින් දැවී යන විට පන්දු 90 කදී ලකුණු 87 ක් රැස් කරගෙන සිටියේය. හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් වුණු මැතිව්ස්ගේ එක්දින තරග දිවියේ 40 වැනි අර්ධ ශතකය මුහුණ දුන් 69 වැනි පන්දුවේදී සම්පූර්ණ කරගත්තේය. මෙම ඉනිමද සමඟ සමස්ථ තරගාවලියේදී ලකුණු 187 ක් ලද ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේ සහ තරගාවලීයේ වීරයා යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාවට හිමි පවර් ප්ලේ අවස්ථා 3 න් වැඩිම වාසියක් වුණු පවර් ප්ලේ අවස්ථාව වූයේ පන්දුවාර 41 සිට 50 දක්වා හෙවත් තෙවැනි පවර් ප්ලේ අවස්ථාවේදීය. 40 වැනි පන්දුවාරය අවසන් වන විට කඩුලු 3 කට ලකුණු 188 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් වේගයෙන් ලකුණු ලබා ගැනීමට සමත්වීම නිසා එම පන්දුවාර 10 දී ලකුණු 106 ක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. ඒ වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් දියත් කළ දසුන් ශානක පන්දු 14 කදී වේගවත් ලකුණු 30 ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට දායද කළේය. අසුන්ගෙන සිටි ප්‍රේක්ෂක පිරිස ඉන් නැගිටුවීමට තරම් හේතු වූ ශානකගේ වේගවත් ඉනිමේදී හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය.

පෙර තරග 2 දීම ලකුණු 40 සීමාව ඉක්මවමින් අර්ධ ශතකයේ ආසන්නයට පැමිණියද තම ඉනිම අර්ධ ශතකයක් දක්වා පරිවර්ථනය කර ගැනීමට කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත විය. එහෙත් එම  තරග දෙකේදීම ලබා ගැනීමට නොහැකි වූ අර්ධ ශතකය මෙම තරගයේදී සපුරා ගන්නා ලද්දේ ඉනිමේ එල්ල වුණු එකම හයේ පහරත් සමඟය. ඉනිම 10 කට පසු වාර්තා කරන ලද එම අර්ධ ශතකය කුසල්ගේ එක්දින තරග දිවියේ 10 වැනි අර්ධ ශතකය ලෙසින්ද සටහන් විය. ශ්‍රී ලංකා ඉනිමට වැඩි වටිනා කමක් එක් කරන ලද කුසල්ගේ ලකුණු 54 ක ඉනිම සඳහා හේ පන්දු 58 කට මුහුණ දුන් අතර ඉන් එක් වතාවක හතරේ සීමාවට ඉහළින්ද තවත් අවස්ථා 5 කදී පන්දුව හතරේ සීමාව පසුකර යෑවීමටද සැලැස්වා තිබිණ.

කුසල් හා මැතිව්ස් අතර ගොඩ නැංවුණු සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයේදී ඔවුන් දෙපළ කෙතරම් කඩුල්ල ගැන අවධානයක් යොමු කළේද කිවහොත් 20 වැනි පන්දුවාරයේ සිට 30 වැනි පන්දුවාරය දක්වා ඔවුන් දෙදෙනා එල්ල කර තිබුණේ එක් හතරේ පහර බැගිනි. එහෙත් 30 වැනි පන්දුවාරයෙන් පසු සිය ආක්‍රමණ ශීලී පිතිකරණ රටාවේ යෙදුණු ඔවුහු හතරේ පහර 6 ක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළහ. ි

මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 13 ක්ව තිබියදී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු දැවී යෑම මත ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය. එහෙත් නායක දිමුත් කරුණාරත්නට එක්වූ කුසල් පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 එක් කරමින් ආරම්භය අසාර්ථක වුණු ශ්‍රී ලංකා ඉනිම ස්ථාවරත්වයකට ගෙන ආවේය.

නායකත්වයේ වගකීම හරියටම වටහා ගනිමින් පන්දුවට පහර දුන් දිමුත් කරුණාරත්න මනා සංයමයකින් යුතුව පන්දුවට පහර දෙමින් අර්ධ ශතකයක් ආසන්නයට පැමිණියේය. එහෙත් පාදය ළඟ පතිත වූ පන්දුවකට  ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය වැරදී උඩ පන්දුවක් ලෙසින් කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් රැක ගැනීම නිසා ඔහුගේ ඉනිම ලකුණු 46 කට අවසන් විය. නායක දිමුත්ට පසු ලකුණු 40 සීමාවේදී සිය ඉනිම හමාර කරගත් දෙවැනි පිතිකරුවා බවට පත්වූයේ කුසල් පෙරේරාය. පන්දු 51 කදී වාර්තා වුණු කුසල්ගේ ලකුණු 42 ක ඉනිම රුබෙල් හොසේන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රැකි මුෂ්ෆිකර් රහීම් උඩ පන්දුවක් ලෙස රැක ගැනීම නිසා නිමාවට පත්විය.

බංග්ලාදේශ පන්දු යැවීම පුදුමයකට මෙන් පත්කරමින් පන්දු යැවූ සෞම්‍ය සර්කාර් සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරගනිද්දී ශෆියුල් ස්ලාම් ලකුණු 68 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත්විය.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී 294/8 යි – (ඇන්ජලෝ මැතිව්ස් 87, කුසල් මෙන්ඩිස් 54, දිමුත් කරුණාරත්න 46, කුසල් පෙරේරා 42, දසුන් ශානක 30, ෂෙහාන් ජයසූරිය 13, වනිදු හසරංග (නොදැවී) 12, සෞම්‍ය සර්කාර 56/3, ශෆියුල් ස්ලාම් 68/3)

බංග්ලාදේශය පන්දුවාර 36 කදී 172 යි – (සෞම්‍ය සර්කාර් 69, තයිජුල් ඉස්ලාම් (නොදැවී) 29, එනමුල් හක් 14, මුෂ්ෆිකර් රහීම් 10, දසුන් ශානක 27/3, ළහිරු කුමාර 26/2, කසුන් රජිත 17/2)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest