කෙසේ කියම්දෝ ගාලු ක්‍රීඩාංගනයේ සිරි……………
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර බදාදා (14) ඇරැඹෙන ප්‍රථම ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ලොව දර්ශනීයම ක්‍රිකට් ක්‍රීඩාංගණ ස්වල්පයෙන් එකක් ලෙස අවිවාදයෙන් නම් කල හැකිය. ලන්දේසි පාලන සමයේ ඉදිවු බලකොටුව සහ හෝරස්ථම්භයත් (දැවන්ත ඔරලෝසු කණුව) දකුණු දෙසින් ඉන්දියානු මහ සාගරයත් (මුහුදු තීරය) මේ ක්‍රීඩාංගණය වඩාත් වර්ණවත් කරයි. අළුයම කාලයේත් සවස්යාමයේත් ධීවරයන් තැනින් තැන දිගරිටිවල නැගී බිලී පිති උපයෝගී කරගනිමින් මසුන් බාගන්නා අයුරු තරග පැවැත්වෙන දිනයන්හි රූපවාහිනියෙන් නිතර දැකිය හැකි දර්ශනයන්ය. තවත් සිත් ඇද ගන්නා සිද්ධියක් වනුයේ තරග නිමවීමට ආසන්නව තිබියදී හිරු රත්පැහැයෙන් මහා සයුරේ ක්‍රමයෙන් සැගවී යන ආකාරයයි.
ගාල්ල ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ අතුරින් දීර්ඝතම ඉතිහාසයක් ඇති ක්‍රීඩාංගණයකි. මෙය 1876 ඉදිකළේ එවක ගාලු නගර සභාවේ ලේකම් පී.ඒ.ටෙම්ප්ලර් තුරග පිටියක් ලෙසිනි. එකළ අශ්ව රේස් ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රියව පැවැතියක් පසුව ක්‍රමයෙන් තුරන්ව යද්දී 1927 සිට මෙහි වැඩිපුරම සංවිධානය වූයේ ක්‍රිකට් තරගයි.
ශ්‍රී ලංකාවේ හත්වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසට මේ ක්‍රීඩාංගණය 1998 දී එක්වූයේ එම වසරේ ජුනි 3-7 දිනවල ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයෙනි.එම තරගයෙන් ශ්‍රී ලංකාව ජයලැබූවේ ඉනිමකින් හා ලකුණු 16කිනි. ගාලු ක්‍රීඩාංගණයේ ප්‍රථම ටෙස්ට් තරගයේ ජයග්‍රහණයත් සමගම මේ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වාසනාව ගෙන දෙන ක්‍රීඩාංගණයක් ලෙසට වත්මත් ක්‍රීඩාලෝලීන් අතරත් මතයක් පවතී.
2004 දෙසැම්බර් 26 වැනිදා රුදිරු සුනාමි රළ පහරට මේ ක්‍රීඩාංගණයටත්, 1876 ඉදිකළ ක්‍රීඩා මණ්ඩපයටත් බරපතල හානි සිදුවු අතර සුනාමියෙන් අවතැන් වු බොහෝ පිරිස් දින ගණනාවක් ලැගුම් ගත්තේ ද මේ ක්‍රීඩාංගණයේය.වැඩිකල් නොගොස්ම ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තත්ත්වයට පත්කිරීම නව මාධ්‍යකුටිය හා පැරිණි ක්‍රීඩා මණ්ඩපයට අමතරව නව ප්‍රේක්ෂාගාරය ද ඉදිවිය. මෙම ඉදිකිරීම් බොහෝමයක්ම සැළසුම් කිරීමට මුල්වූයේ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතාය.
ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් ලැබු ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සිය 800 වන ටෙස්ට් කඩුල්ල ලබා ගැනීම රංගන හේරත් 362වන ටෙස්ට් කඩුල්ල ලබා වමත් දගපන්දු යවන්නෙකු වැඩිම ටෙස්ට් කඩුලු ලබන්නා බවට පත්වීම ඕස්ට්‍රේලියාවේ එකළ නිතර කතාබහට ලක්වු දගපන්දු යවන්නා ෂේන් වෝන් සිය 500වැනි කඩුල්ල ලබා ගැනීම මේ ක්‍රීඩාංගණයේ තවත් මතක සටහන් කිහිපයකි.
ශ්‍රී ලංකාව ටෙස්ට්වරම් ලැබූ 1982 -83 වසර තෙක්ම ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ඉතිහාසය පවතී. මේ දක්වා වසර 37ක් තුළ ටෙස්ට් තරගාවලි 16ක් පවත්වා නවසීලන්තය තරගාවලි හතක්ද ශ්‍රී ලංකාව තරගාවලි හතරක්ද ජය ගෙන තරගාවලි පහක්ම ජය පැරදුමින් තොරව නිමාව ඇත. ශ්‍රී ලංකාව තරග 2-0කින් 2009 දී අවසාන වරට ජයගත් අතර නවසීලන්තය 2014-2015, 2015-2016 සහ 2018-2019 අවසාන තරගාවලි තුනම ජයගෙන සිටී. ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිව වසර 03ක් ගතවද්දී වනාතමුල්ල පී.සරවනමුත්තු පිටියේදී ඉන්දියාව පරදා සිය ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය අත්කර ගත් අවස්ථාවේ එදා ඉන්දීය නායක කපිල් දේව් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ දී ජයගැනීමට හැකිවුවත් පිටරටකදී එය සිදු කළ හැකි නොවන බවය. එම ප්‍රකාශය කර වසර තුනක් පමණ ගතවද්දී ලංකා කණ්ඩායම නවසීලන්තයේ නේපියර්හි දී නවසීලන්තය ටෙස්ට් තරගයේදී පරදා තරගාවලියද ජයගත්තේ ඉන්දීය නායකයා නිරුත්තර කරමිනි. එදා චමින්ද වාස් පන්දු යැවීමේදී විශිෂ්ට දස්කම් පෙන්වීය.
2019 අගෝස්තු 14-18 ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගයට නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩයන් 15න් නවයක්ම පිතිකරුවෝය. නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්,කුසල් ජනිත් පෙරේරා,නිරෝෂන් දික්වැල්ල,ධනංජය ද සිල්වා සහ ඕෂද ප්‍රනාන්දු එම පිතිකරුවෝය. මෙයින් කුසල් ජනිත්, මෙන්ඩිස් සහ දික්වැල්ල කඩුලු රකින්නෝ ද වෙති. අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය හා ලක්ෂාන් සදකැන් දගපන්දු යවන්නන් ලෙසත් සුරංග ලක්මාල් ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු වේගපන්දු යවන්නන් ලෙසත් ක්‍රීඩා කරති.
බන්දුල මොල්ලිගොඩ
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-