slc
Home   |    News
අගෝස්තු 6, 2019
රස්නෙ තමයි ප්‍රශ්නේ

Sri Lanka Cricket

ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී ලද මතභේදාත්මක වූත් අනුවේදනීය තරගාවසානයෙන් මසක කලක් ඉක්ම යෑමටත් ප්‍රථම අනුශූරයින් බවට පත්වූ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම තවත් ලෝක කුසලාන තරගාවලියක සමාරම්භයක අභිමුවට පැමිණ සිටියි. ඒ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අළුතින්ම ලෝකයට හඳුන්වා දුන් අයි. සී. සී. ලෝක ටෙස්ට් ශූරතාවලියටය. එම ශූරතාවලියේ නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල වන්නේ මේ ලබන 14 වැනිදා සිට ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය වේ.

එක්දින අංශයට නොදෙවැනි ලෙසින් ටෙස්ට් තරග අංශයේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය වෙන් කර ගනිමින් ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට නවසීලන්තය අවතීර්ණ වී සිටියි. ඉන්දියාවට පමණක් දෙවැනි වී සිටින නවසීලන්ත කණ්ඩායමට මෙම තරගාවලිය ජය ගැනීමට සමත් වුවහොත් එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දක්වා පැමිණීමේ අවස්ථාවද ඔවුන්ට හිමිව තිබේ. එබැවින් ඔවුන් මෙම තරගාවලියේදී ඔවුන් සතු උපරිම හැකියාවෙන් යුක්තව තරග වදිනු ඇත.

‘බ්ලැක් කැප්ස්’ නම් අපනාමය බැඳි නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියේදී මුහුණ දෙන දැවැන්තම ගැටළුව බවට පත්ව තිබෙන්නේ ඔවුන්ට නුපුරුදු උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ තරග කිරීමය. ඔවුන්ගේ රටේ මෙන් සෙල්සියස් අංශක 20 ට අඩු (බොහෝ විට) දේශගුණික තත්ත්වය වෙනුවට ඔවුන්ට තරග වැදීමට සිදුව තිබෙන්නේ සෙල්සියස් අංශක 30 ට වැඩි උෂ්ණත්වයක් සමඟ වූ වටපිටාවකය.

 ඒ පිළිබඳව පවසන්නේ අප නොනව නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයකු වන නීල් වැග්නර්ය. “උණුසුම් නිසා දහඩියයි” යැයි පවසන වැග්නර්, “වචනානුසාරයෙන්ම කියනවා නම් එය හරියට ඇඳුම් ඇඳගෙන පිහිනුම් තටාකයට පැන්න වගේ දෙයක්” යැයි පවසයි.

ටෙස්ට් තරගයට ලක ලැහැස්තිවීමේ අරමුණ ඇතිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පුහුණු සැසියක් අතරතුරදී තම අදහස් දැක්වූ වැග්නර්, “ඇත්තටම හරිම රස්නෙයි. මෙහි තෙතමනය ඉතා වැඩියි. ඒක නිසා මෙහි ටිකක් වැඩිපුර දාඩිය දානවා වගේම ටිකක් අළෙන සුළුයි” යි පවසයි.

“පැහැදිළිවම කියනවා නම් දහඩිය දාන්නේ නැතිව ඉන්න එක නම් හරිම අමාරුයි. ඒ නිසා අපිට හැම තිස්සේම දියර වර්ගයක් ළඟ තියාගෙන ඉන්න සිද්ධවෙලා. එය තරමක් තෙත බරිතයි වගේම තරමක් ඇළන සුළුයි. මා හිතන පරිදි එය අපිට අභියෝගයක් වන්නට පුලුවන්. නමුත් අපේ කණ්ඩායමේ සියළුම සාමාජිකයින් තුළ අදහසක් තියෙනවා ඒ වෙනුවෙන් කළ යුත්තේ මොකද්ද කියන එක ගැන” යි වැග්නර් වැඩිදුරටත් පවසයි.

“ඇත්තටම අපි මේ දේශගුණ තත්ත්වයට හුරුවෙන්න උත්සාහ දරනවා. දීර්ඝ වේලාවක් පන්දු යැවීමේදී ගැටළු ඇති වෙන්න පුළුවන්. එය අභියෝගාත්මක දෙයක්. ඒ නිසා නිසා අපිට පෝෂණය පැත්ත දෙස ගොඩක් අවධානය යොමු කරන්න සිදුවේවි. නමුත් මම හිතන්නේ ඒක හොඳ දෙයක්. මොකද ඒ හරහා අපේ ශරීරයේ නැවුම් බව පවත්වාගෙන යෑමට උපකාරී වෙන නිසා” යි වැග්නර් වැඩිදුරටත් පවසයි.

වමතින් මඳ වේග පන්දු යවන වැග්නර් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 42 කට සහභාගිවී තිබේ. තවමත් එක්දින තරගයකට ක්‍රීඩා කිරීමට වරම් නොලද වැග්නර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළදී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 27.31 ක් රඳවා තබා ගනිමින් කඩුලු 174 ක් බිඳ හෙළීමට සමත්ව තිබේ. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2017 වසරේ ඇන්ටිගුවාහි පැවැති තරගයේදී ලකුණු 39 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීම වැග්නර්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වේ. තවමත් තිස් තුන්වැනි වියේ පසුවන වැග්නර් කඩුලු 5 කට හෝ ඊට වැඩියෙන් අවස්ථා 7 කදී ලබා ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව බැලීමේදී තමන්ට නුපුරුදු දැඩි උෂ්ණ සහිත දේශගුණික තත්ත්වය පිළිබඳව නවසීලන්ත කණ්ඩායම දැඩි අවධානයක් යොමු කර තිබෙන බවයි. නවසීලන්ත කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග සංචාරයකට සහභාගිවී ඇත්තේ ඉකුත් 2012 වසරේදීය. තරග 2 කින් යුක්ත වූ එම තරගාවලියේ ගාල්ලේ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට සමත් වුවත්, කොළඹ පී. සරා පිටියේ පැවැති දෙවැනි තරගයේදී නවසීලන්ත පිල ලකුණු 167 ක ජයක් ලබා තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත්විය. එම තරග සංචාරයටද නීල් වැග්නර් සහභාගි වුවත් ඔහුට හිමිවූයේ අතිරේක ක්‍රීඩකයින්ට හිමි බංකුවය. කෙසේ වෙතත් ඒ පිළිබඳවද වැග්නර් මතකය අවධි කළේ මේ අයුරිනි.

“ඔව්. ඒ තරගාවලියේදී අපි එක් තරගයක් ජයග්‍රහණය කළා. ඒ තරග ජයග්‍රහණයේ විශේෂත්වය වුණේ ටොඩ් ගේ (ඇස්ට්ල්) පළමු ටෙස්ට් තරගය නිසා. ඒ තරගයට මම ක්‍රීඩා කළේ නෑ. නමුත් මම වතුර අරගෙන ක්‍රීඩාංගණයට ගියා. නමුත් ඒ තරගාවලියේදී මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කණ්ඩායමක් විදියට අපි එදා ලබාගත්ත ජයග්‍රහණ්‍යත් සුවිශේෂී හැඟීමක් දනවන්නක් වුණා. අපි ඒ ජයග්‍රහණයෙන් පස්සේ ක්‍රීඩා ගාරයේදී සතුටට ගීත පවා ගායනයා කළා”යි වැග්නර් තම මතකය අවධි කරයි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest