චමිල කරවිට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට
වටිනාකමේ නිමක් නැති නායක දිමුත් කරුණාරත්නගේ නවවැනි ටෙස්ට් ශතකය ප්‍රධාන කොට ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ නවසීලන්තයට එරෙහිව ලකුණු 268 ක වාර්තාගත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක ඓතිහාසික ජයක් වාර්තා කිරීමට අද (18 දා) සමත්වූහ. ගාල්ල ක්‍රීඩාංගණයේදී සිව්වැනි ඉනිමේදී හඹා ගොස් ජය ගනු ලැබූ දැවැන්තම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වෙමින් ලද මේ සුවිශේෂී ජයග්‍රහණයනත් සමඟ ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ ප්‍රසාද ලකුණු 60 ක්ද ශ්‍රී ලංකාවට හිමිවිය.
දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් දිමුත් කරුණාරත්න මේ තරගය දක්වා තරග 3 කදී ශ්‍රී ලංකා පිල මෙහෙයවා තිබෙන අතර එම තරග 3 ම ජයග්‍රහණය කිරීමට සමත්වීම කැපී පෙනෙයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹා යෑමේදී ලකුණු 133 කට කිසිවකු නොදැවී සිට පස්වැනි දිනය ඇරඹූ දිමුත් කරුණාරත්න ප්‍රමඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 135 රැස් කර ගැනීමේදී කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබාදුන්හ.
ගාල්ල ක්‍රීඩාංගණයේදී සිව්වැනි ඉනිමේදී හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වූ ජයග්‍රාහී ලකුණ,87 වැනි පන්දුවාරයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ පිත්තෙන් වාර්තා වද්දී තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.
වසර 7 කට පසු නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගනු ලැබූ පළමු අවස්ථාව වශයෙන් සනිටුහන් වුණු මෙම තරගයේදී වාර්තාවන් කීපයක්ම බිඳ වැටීම කැපී පෙනුණි. ඒ අතරින් ප්‍රධානම වාර්තාව බවට පත්වූයේ දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න එක්ව සිව්වැනි ඉනිමේදී පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 161 ක සුපිරි සම්බන්ධතාවයයි.
මෙම සම්බන්ධතාවය දෙරට අතර ක්‍රිකට් ඉතිහාසය තුළ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සම්බන්ධතාවය සම කිරීමක් වශයෙන් සටහන් විය. මොවුන් දෙදෙනා විසින් සම කරන ලද්දේ මීට වසර 28 කට පෙර හෙවත් ඉකුත් 1991 වර්ෂයේදී නවසීලන්ත පිතිකරු යුගලයක් වන ට්‍රෙවර් ෆ්‍රෑන්ක්ලින් සහ ජෝන් රයිට් විසින් හැමිල්ටන්හිදී පිහිටුවන ලද වාර්තාවයි.
දිමුත්-ළහිරු එක් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් ඕනෑම රටකට එරෙහිව සිව්වැනි ඉනිමේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් වීමද කැපී පෙනුණි. මීට පෙර එම කඩුල්ලේ වැඩිම සම්බන්ධතාවය බවට පත්ව තිබුණේ පාකිස්තානු පිලට එරෙහිව 2014 වසරේදී දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා එක්ව රැස් කරන ලද ලකුණු 124ක සම්බන්ධතාවයයි.
2016 වසරෙන් පසු ලකුණු 250 කට වැඩි ඉලක්කයක් හඹා යමින් ජයග්‍රහණ වාර්තා කළ අවස්ථාවන් 4 ක් පමණක් වන අතර ඉන් 3 ක්ම ශ්‍රී ලංකාව නම ඉදිරියෙන් ලියැවීමද සුවිශේෂී කරුණක් ලෙසින් සඳහන් කළ හැක. දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හි පැවැති තරගයේදී හඹා ගොස් ජය ගන්නා ලද ලකුණු 304 සහ සිම්බාබ්වේට එරෙහිව 2017 වසරේදී ලකුණු 391 ක් හඹා යෑම ශ්‍රී ලංකාවේ නම ඉදිරියෙන් වාර්තා වද්දී බටහිර ඉන්දීය කොදෙව් පිල විසින් 2017 වසරේදී ලීඩ්ස්හි පැවැති තරගයේදී එංගලන්තයට එරෙහිව හඹා ගිය ලකුණු 322 ක ඉනිම අනෙක් හඹා යෑම ලෙසින් සටහන් වේ.
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 ශතකය බවට පත්වූ දිමුත් කරුණාරත්නගේ ලකුණු 122 ක ඉනිම සඳහා හේ පැය 5 කුත් මිනිත්තු 11 ක් කඩුල්ලේ රැඳී සිටියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරන්තරයෙන්ම ලකුණු අතරට එන පිතිකරුවකු ලෙසින් දිමුත් කරුණාරත්න හැඳින්වුවත් ඔහු ශතකයක් වාර්තා කරන ලද්දේ ඉනිම 22 කට පසුව වීමද කැපී පෙනෙයි. අවසන් වරට ඔහු ශතකයක් රැස් කරගෙන ඇත්තේ 2018 වසරේ පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදීය. ගාල්ලේ පැවැති එම තරගයේදී ඔහු නොදැවී ලකුණු 158 ක් රැස් කරගත්තේය.
ටිම් සවුතිගේ පන්දුවකට එළවා පහර එල්ල කිරීමට යෑමේදී පිටත දාරයේ වැදුණු පන්දුව කඩුලු රකින වොට්ලින් විසින් රැක ගනිද්දී සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් කර ගැනීමට කරුණාරත්න සමත්විය. කෙසේ වෙතත් පෙර සදහන් කළ පරිදි මිල කළ නොහැකි දිමුත්ගේ ඉනිමට නිසි වටිනාකම හිමි වෙමින් තරගයේ වීරයා සම්මානයෙන්ද හේ පිදුම් ලැබීය.
මෙම ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය අනෙක් පිතිකරුවා බවට ළහිරු තිරිමාන්න පත් වන්නේ නිරායාසයෙනි. දිමුත් කරුණාරත්නට ඔහු දුන් සහාය නොවන්න මෙම තරගයේ ප්‍රතිඵලය වෙනත්ම පැත්තකට යෑමේ වැඩි අවස්ථාවක් පවතින බව පිළිගත යුතු කරුණක් නමුත්, ඒ කිසිවකට ඉඩ නොතැබූ තිරිමාන්න ඉවසිලිවන්තකම ප්‍රගුණ කරමින් පන්දුවට පහර දෙමින් ක්‍රම ක්‍රමයෙන් ජයග්‍රාහී ඉලක්කය වෙත ශ්‍රී ලංකා පිල රැගෙන ගියේය.
තිරිමාන්නගේ ඉදිරි පා ආවරණයේ වැදුණු අතර ඒ සඳහා කරන ලද ඉල්ලීමේදී පන්දු යවන්නාටවත් එහි විශ්වාසයක් නොතිබුණි. එහෙත් තව දුරටත් තෙවැනි විනිසුරු විමසීමේ අවස්ථා ඉතිරි කර ගැනීමෙන් කිසිදු ඵලක් නොමැති බව වටහා ගත් විලියම්සන් එය තෙවැනි විනිසුරුගේ විමසීමට යොමු කිරීමට පියවර ගත්තේය. නොසිතූ අන්දමින් එහි වාසිය නවසීලන්ත පිල සතු වූයෙන් තිරිමාන්නගේ වටිනා ඉනිම ලකුණු 64 කදී නිමාවට පත්විය.
අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් පන්දු 6 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් වේගවත් ලකුණු 10 ක් ලබා ගත් අතර පිට ඉන්නට ඈතින් අජාස් පටෙල් යොමු කරන ලද පන්දුවට ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය මිඩ් විකට්හි පන්දු රැකී ජීට් රවාල්ගේ අදෙත් අතර සිර විය.
කෙසේ වෙතත් කණ්ඩායම සතු වඩාත් පළපුරුදු සහ විශ්වාසවන්තම පිතිකරුවා වූ ඇන්ජලෝ මැතිව්ස් දිමුත් කරුණාරත්නට එක්වෙමින් ශ්‍රී ලංකා පිල ජය කනුව කරා රැගෙන ඒම වෙනුවෙන් ලකුණින් ලකුණ එක් කළේය. ජයග්‍රාහී ලකුණු මැතිව්ස්ගේ පිත්තෙන් වාර්තා වද්දී ඔහුගේ නම ඉදිරියෙන් ලකුණු 28 ක් පමණක් වාර්තා වුවද කණ්ඩායමට එයින් අත්වුණු වාසිය කියා නිම කළ නොහැක.
කරුණාරත්න දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් මෙන්ම ප්‍රවේගකාරී වෙමින් පන්දු 19 කදී වේගවත් ලකුණු 23 ක් රැස් කළේය. දිවා ආහාරය සඳහා තරගය නැවැත්වීම සඳහා යවන ලද පන්දුවාරය වන විට ශ්‍රී ලංකාව සිටියේ ජයග්‍රහණයට ලකුණු 22 ක් මෑතිනි. ඒ අනුව විසඳුමක් ලැබෙන තෙක් තරගය පැවැත්වීමට පිටියේ විනිසුරුවරුන් කටයුතු කළ නමුත් ඒ අතර තුර කුසල් පෙරේරා දැවී ගියේය.
මුළු ලකුණු සංඛ්‍යාව 250 ක්ව තිබියදී බෝල්ට්ගේ ගොදුරක් ලෙසින් කුසල්ගේ ඉනිමද නිමාවට පත්වද්දී පිටියට පිවිසි ධනංජය ද සිල්වා මැතිව්ස් සමඟ ශ්‍රී ලංකාව ජයග්‍රාහී කණුව තෙක් රැගෙන ගිය අතර ලකුණු 18 කින් යුත් එම සම්බන්ධතාවයෙන් ලකුණු 14 කම හිමිකරුවා බවට ධනංජය පත්විය.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වනු ඇත.
ලකුණු සාරාංශය – නවසීලන්තය පන්දුවාර 83.2කදී සියළු දෙනා දැවී ලකුණු 249 (රොස් ටේලර් 86, හෙන්ර් නිකලස් 42, ජීත් රාවල් 33, ටොම් ලේතම් 30, ට්‍රෙන්ට් බෝල්ට් 18, ටිම් සවුති 14, මිචෙල් සෑන්ට්නර් 13, විලයම් සමර්විල් (නොදැවී 09), බී. ජේ. වොට්ලින් 1, කේන් විලියම්සන් 0, අජාස් පටෙල් 0, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4) සහ දෙවැනි ඉනිම 106 කදී 285 යි – (බී.ජේ. වොට්ලින් 77, ටොම් ලතම් 45, හෙන්රි නිකල්ස් 26, ටිම් සවුති 23, විලියම් සමර්විල් (නොදැවී) 40, ජීත් රවාල් 04, කේන් විලියම්සන් 04, රොස් ටේලර් 03, මිචෙල් සැන්ට්නර් 12, ට්‍රෙන්ට් බෝල්ට් 26, අජාස් පටෙල් 14, ,ලසිත් ඇඹුල්දෙණිය 99/4, ධනංජය ද සිල්වා 25/3, ළහිරු කුමාර 31/2, අකිල ධනංජය 84/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 93.2 කදී ලකුණු 267 යි (කුසල් මෙන්ඩිස් 53, ඇන්ජලෝ මැතිව්ස් 50, දිමුත් කරුණාරත්න 39, ළහිරු තිරිමාන්න 10, කුසල් පෙරේරා 01, ධනංජය ද සිල්වා 05, නිරෝෂන් දික්වැල්ල 61, අකිල ධනංජය 00, සුරංග ලක්මාල් 40, ලසිත් ඇරඹුල්දෙණිය 05, ළහිරු කුමාර (නොදැවී 05, අජාස් පටෙල් 89/5 යි, විලියම් සමර්විල් 83/3, ට්‍රෙන්ට් බෝල්ට් 45/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 86.1 කදී ලකුණු 268/4 යි – (දිමුත් කරුණාරත්න 122, ළහිරු තිරිමාන්න 64, කුසල් මෙන්ඩිස් 10, ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 28, කුසල් පෙරේරා 23, ධනංජය ද සිල්වා (නොදැවී) 14, ට්‍රෙන්ට් බෝල්ට් 34/1, ටිම් සවුතී 33/1, විලියම් සමර්විල් 73/1, අජාස් පටෙල් 74/1)