එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් නම් කර තිබේ. එක්දින තරග තුනකින් සහ විස්සයි-20 තරග තුනකින් සමන්විත මෙම තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 5 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර, කණ්ඩායම් දෙකේම නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ලබයි. චරිත් අසලංක කණ්ඩායම් දෙකේම උප නායකයා ලෙස නම් කර තිබීමද මෙවර සංචිතවල කැපී පෙනෙන කරුණක් වන අතර, පසුගිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී එම වගකීම දැරූ කමිඳු මෙන්ඩිස් මෙවර උප නායකත්වයෙන් ඉවත් කර තිබේ.
පසුගිය කොදෙව් සංචාරයට සාපේක්ෂව මෙවර සංචිතවල වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර, විශේෂයෙන්ම එක්දින සංචිතයට දසුන් ශානක යළි කැඳවා තිබීමත්, 28 හැවිරිදි සචිඳු කොළඹගේ පළමු වරට ජාතික කණ්ඩායමට ඇතුළත් කර තිබීමත් කැපී පෙනේ. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි දකුණත් පා දඟ පන්දු යවන කොළඹගේ දේශීය තරග පිටියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත්ව තිබේ.
කොළඹගේ මේ දක්වා පළමු පෙළ එක්දින තරග 44කට ක්‍රීඩා කරමින් කඩුලු 69ක් දවාගෙන ඇති අතර, ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය 22.23ක් ලෙස සටහන් වේ. පිත්තෙන්ද දායකත්වයක් ලබාදී ඇති ඔහු එම තරගවලදී ලකුණු 428ක් රැස්කර ඇති අතර, ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 22.52කි. ඔහුට ජාතික කණ්ඩායමට ලැබුණු මෙම පළමු කැඳවීම දේශීය තරග පිටියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයකුට ජාත්‍යන්තර මට්ටමේ අවස්ථාවක් හිමිවීමක් ලෙසද කැපී පෙනේ.
එක්දින සංචිතය සම්බන්ධයෙන් ගත් කල, පසුගිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම් කළ කණ්ඩායමේ සිටි ප්‍රමෝද් මදුශාන් සහ මිලාන් රත්නායක මෙවර සංචිතයට ඇතුළත් කර නොමැති අතර, ඔවුන් වෙනුවට දසුන් ශානක සහ සචිඳු කොළඹගේ කැඳවා තිබේ.
මේ අතර, කොදෙව් සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට ඇතුළත්ව නොසිටි චරිත් අසලංක මෙවර කණ්ඩායමට යළි කැඳවා ඇති අතර, ඔහුට උප නායකත්වයේ වගකීමද පවරා තිබේ. එම සංචාරයේ විස්සයි-20 සංචිතයට ඇතුළත්ව සිටි ලසිත් කෘෘස්පුල්ලේ, පවන් රත්නායක, ඩිල්ෂාන් මදුශංක සහ මිලාන් රත්නායක මෙවර කණ්ඩායමට ඇතුළත් කර නොමැත.
ඊට අමතරව තරිඳු රත්නායක සහ ළහිරු උදාර යළිත් විස්සයි-20 සංචිතයට කැඳවා ඇති අතර, එක්දින සංචිතයටද ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ මෙවර විස්සයි-20 සංචිතයටද එක්කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 5 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
එක්දින කණ්ඩායම
- පැතුම් නිස්සංක
- කමිල් මිශාර
- කමිඳු මෙන්ඩිස්
- චරිත් අසලංක (උප නායක)
- කුසල් මෙන්ඩිස් (නායක)
- ජනිත් ලියනගේ
- පවන් රත්නායක
- වනිඳු හසරංග
- දුනිත් වෙල්ලාලගේ
- මහීෂ් තීක්ෂණ
- දුෂ්මන්ත චමීර
- එෂාන් මාලිංග
- අසිත ප්‍රනාන්දු
- ඩිල්ෂාන් මදුශංක
- දසුන් ශානක
- සචිඳු කොළඹගේ
විස්සයි-20 කණ්ඩායම
- පැතුම් නිස්සංක
- කමිල් මිශාර
- කුසල් මෙන්ඩිස් (නායක)
- කමිඳු මෙන්ඩිස්
- චරිත් අසලංක (උප නායක)
- ජනිත් ලියනගේ
- දසුන් ශානක
- ළහිරු උදාර
- දුනිත් වෙල්ලාලගේ
- වනිඳු හසරංග
- දුෂ්මන්ත චමීර
- මහීෂ් තීක්ෂණ
- එෂාන් මාලිංග
- නුවන් තුෂාර
- බිනුර ප්‍රනාන්දු
- තරිඳු රත්නායක





