බංග්ලාදේශයට එරෙහිව ලකුණු 128ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකාව, විෂේන් හැළඹගේගේ පන්දු 17කින් නොදැවී ලකුණු 80ක ප්රවේගකාරී ඉනිම හමුවේ කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමින් හොංකොං සික්සර්ස් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගත්තේය. මෙම ජයග්රාහී ආරම්භයෙන් අනතුරුව ශ්රී ලංකාව හෙට (31) ස්කොට්ලන්තයට එරෙහිව තරගාවලියේ මූලික වටයේ දෙවැනි තරගයට පිවිසීමට නියමිතය.
බංග්ලාදේශය ලබාදුන් ලකුණු 128ක ඉලක්කය හඹාගිය ශ්රී ලංකාව, පන්දුවාර 5.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 129ක් රැස්කරමින් මෙම ජයග්රහණය වාර්තා කළේය.
ශ්රී ලංකා ඉනිමේ කැපී පෙනුණු විෂේන් හැළඹගේ පන්දු 17කින් නොදැවී ලකුණු 80ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 11ක් සමඟිනි. ඔහුගේ ප්රහාරාත්මක ඉනිම ශ්රී ලංකාවට ජයග්රහණය කරා යාමට මඟ විවර කළේය.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 127ක් රැස් කළේය. හබිබුර් රහමන් පන්දු 15කින් නොදැවී ලකුණු 57ක් ලබාගත් අතර සබ්බීර් රහමන් පන්දු 12කින් ලකුණු 39ක් රැස් කළේය.
ශ්රී ලංකාව වෙනුවෙන් චමිඳු විජේසිංහ කඩුල්ලක් දවාගත් අතර විෂේන් හැළඹගේ ද පන්දුවෙන් දස්කම් දක්වමින් සබ්බීර් රහමන්ගේ කඩුල්ල දවාගත්තේය.
මූලික වටයේ තරගවලින් අනතුරුව කණ්ඩායම් ශූරතා, ප්ලේට් සහ බඳුන යන කාණ්ඩ තුන යටතේ අවසන් අදියරට පිවිසීමට නියමිතය. ඒ අනුව මූලික වටයේ කාණ්ඩ 4 හි ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 4 ශූරතා කුසලාන වෙනුවෙන් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන අතර, අනෙකුත් කණ්ඩායම් ප්ලේට් සහ බඳුන කාණ්ඩ යටතේ තරග කරමින් තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරගනු ඇත. ශ්රී ලංකාවට ද හෙට (31) ස්කොට්ලන්තයට එරෙහි තරගය ජයගනිමින් අපරාජිතව මූලික වටය අවසන් කිරීමට සමත් වුවහොත් ශූරතා කුසලාන වෙනුවෙන් අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීමට පහුසවෙන්ම අවස්ථාව හිමිවනු ඇත.
බංග්ලාදේශය – 127/4 (පන්දුවාර 6) – හබිබුර් රහමන් නොදැවී 57, සබ්බීර් රහමන් 39, චමිඳු විජේසිංහ 31/1, විෂේන් හලඹගේ 16/1
ශ්රී ලංකාව – 129/5 (පන්දුවාර 5.2) – විෂේන් හැළඹගේ නොදැවී 80, රවිඳු ප්රනාන්දු 18, චමිඳු විජේසිංහ 16
මිත්තුන්ජෝයි චෞධුරි 37/3, රිස්වාන් චෞධුරි 26/1, හබිබුර් රහමන් 7/1




