slc
logo
Home   |    News
අගෝස්තු 22, 2019
ශ්‍රී ලංකා පිතිකරුවෝ සෙමෙන් ගමනක

Sri Lanka Cricket

කොළඹ පී. සරා ඕවල් පිටියේ අද (22 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට අයහපත් ආලෝක තත්ත්වය බාධා පැමිණවීම හේතුවෙන් පන්දුවාර 36 කුත් පන්දු 3 කට පමණක් සීමාවෙමින් තරගය නතර කර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. ප.ව. 6 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු මෙම තරගය ප.ව. 5.03 ට පමණ නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාරයකට 2.32 ක කළ වේගයක් රඳවා තබා ගනිමින් කඩුලු 2 කට ලකුණු 85 ක් ලබා සිටියේය.

ඒ වන විටත් කඩුල්ලේ රැඳී සිටි නායක දිමුත් කරුණාරත්න ලකුණු 49 ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබාද කඩුල්ලේ රැඳී සිටියහ. පෙර තරගයේදීද ශතකයක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය දිමුත්ගේ මිනිත්තු 155 ක් පුරා විහිදුණු ඉනිම සඳහා හේ පන්දු 100 කට මුහුණ දුන් අතර හතරේ පහර 6 ක්ද එල්ල කර තිබිණ.

අයහපත් කාලගුණය නිසා පන්දුවාර 30 ක් අත හැර දැමීමෙන් පසු ප.ව. 1.40 ට ආරම්භ තරගයේ වැදගත්ම සාධකය බවට පත්වුණු කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න වැසි සහිත කාලගුණ තත්ත්වයන්හිදී වේග පන්දු යවන්නන්ට ලබාදෙනු ලබන වාසිය අමතක කර දමමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

වේග පන්දු යවන්නන්ට සහයෝගය ලබාදෙනු ඇතැයි පැවසෙන සරා තණතීරුවේදී එතරම් කලබලයකින් තොරව පිති හැසිරවූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ වඩා ආරක්ෂිතව පන්දුවට පහර දෙනු දැක ගත හැකි විය. පෙර තරගයේදී ශතකයක් වාර්තා කළ දිමුත් කරුණාරත්න සිය සුපුරුදු පහරවල් කරා යමින් ලකුණු රැස් කළ නමුත් කඩුල්ල තුළ එතරම් විශ්වාසයක් ගොඩ නගා ගැනීමට තිරිමාන්න අපොහොසත් විය.

පැයකට ආසන්න කාලයක් තිස්සේ පිටියේ රැඳී සිටි හැඩකාර වමත් පිතිකරුවා පන්දු 35 කට මුහුණ දුන්නද රැස් කර ගත ගැනීමට සමත්ව සිටියේ ලකුණු 02 ක් පමණි. සමර්විල්ගේ පන්දුවකට තල්ලු කිරීමකට යෑමේදී එය උඩ පන්දුවක් ලෙස ෂෝට් කවර් ස්ථානයේ පන්දු රකිමින් සිටි කේන් විලියම්සන් විසින් රැක ගැනීම නිසා තිරිමාන්නගේ ඉනිම නිමාවට පත්විය.

අනතුරුව පිටියට පිවිස් කුසල් මෙන්ඩිස් සහ නායක කරුණාරත්න සමඟ එක්වෙමින් තේ පානය තෙක් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 42 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ. පළමු පන්දුවේ සිටම වඩා විශ්වාසයකින් යුක්තව පන්දුවට පහර දුන් මෙන්ඩිස් තම නායකයා සමග එක් වෙමින් තේ පානය සඳහා තරගය නතර කර දමන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 71 ක දක්වා ඉහළ දැමීමට දායකත්වය දැක්වීය.

තේ පානය අතරතුර ද වර්ෂාවෙන් බාධා වීම නිසා මිනිත්තු කීපයක් ප්‍රමාදයෙන් නැවතත් තරගය ආරම්භ වුවද තේ පානය වන විට ලකුණු 30 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්ට රැස් කර ගත හැකි වූයේ තවත් ලකුණු 02 ක් පමණි. මිචෙල් සැන්ට්නර් වෙනුවට කැඳවන ලද කොලින් ඩි ග්‍රෑන්ඩ්හොම්ගේ පිට ඉන්නට මඳක් ඈතින් දෝලනය වී ගිය පන්දුවක් මෙන්ඩිස්ගේ පිටත දාරය සොයා එය කඩුලු රකින වොට්ලින් රැක ගැනීම නිසා අකමැත්තෙන් හෝ පිටියෙන් ඉවත්වීමට මෙන්ඩිස්ට සිදුවිය. දැවී යන විට ඔහු නායකයා සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් හරියටම ලකුණු 50 ක් එක් කර තිබුණේය.

වේග පන්දු යවන්නන්ට සහයෝගයක් දෙනු ඇතැයි අපේක්ෂිත සරා තණතීරුවේදී නවසීලන්ත පිල මිචෙල් සැන්ට්නර් වෙනුවට වේග පන්දු යවන්නකු යොදවා ගනිද්දී ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් පිළිබඳව විශ්වාසය තබමින් තරගයට අවතීර්ණ විය. කෙසේ වෙතත් පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධව ගැටළුවකට මුහුණ දී සිටින අකිල ධනංජය වෙනුවට මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඩිල්රුවන් කැඳවා තිබුණි. තරගයේ දෙවැනි දිනය වන හෙට (23 දා) දිනයේ තරගය පෙ.ව. 9.45 ට ආරම්භ වීමට නියමිතය.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee