slc
logo
Home   |    News
අගෝස්තු 2, 2019
සිංහ සලකුණ ලෝකයට රැගෙන ගිය අපේ පර්සි

Sri Lanka Cricket

ඔබට සුභ උපන් දිනයක්

පර්සි අබේසේකර කිව්වහම ශ්‍රී ලංකාවේ නම් නොදන්න කෙනෙක් නැති තරම්. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදින සෑම තරගයකදි දිරි ගන්වන්නකු ලෙස කටයුතු කිරීම නිසා ක්‍රීඩා ලෝලීන් අතර පර්සිට හිමි වන්නේ සුවිශේෂී තැනක්. ඇත්තටම බැලුවොත් පර්සිගේ දිරිගැන්වීමක් නැති ක්‍රිකට් තරගයක් සොයා ගන්නට නම් බැරි තරම්. ජාතික ධජයද සුරතට ගනිමින් ශ්‍රී ලාංකේය අභිමානය ලෝකෙටම රැගෙන යන මේ අභිමානවත් චරිතයට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති තෙවැනි එක්දින තරගය සුවිශේෂී තරගයක් වුණා. ඒ ඔහුගේ 83 වැනි ජන්ම දිනය නිමිත්තෙන් වූ සාදයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගැනීම නිසා.

1936 වසරේ මෙලොව එළිය දුටු පර්සිගේ උපන් දිනය යෙදිලා තිබුණේ ඉකුත් ජූලි මාසෙ 30 වැනිදාට. ඒත් එදාට තරගයක් නොතිබුණු නිසා මේ සාදය සාදය ඊට පස්සේ දවසේ ඒ කියන්නේ 31 වැනිදා පැවැත්වීමට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය කාරුණික වුණා. ඒ පර්සිගේ තියෙන වටිනා කම කොච්චරද කියන එක ගැන හරි අවබෝධයක් ක්‍රිකට් ආයතනයට තියෙන නිසා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම විශේෂ උපන්දින සාදය තරගය ආරම්භයට පෙර පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් වලින් එක් අයෙකුට විශේෂ ආරාධිතයන් ලෙස සහභාගිවන ලෙස ආරාධනා කරලා තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් නායක දිමුත් කරුණාරත්නද බංග්ලාදේශය පැත්තෙන් වේග පන්දු පුහුණුකරු වන ශ්‍රී ලාංකිකයකු වන චම්පක රාමනායක මහතාද පැමිණියා. තරග සංවිධාන කමිටුවේ කලමනාකරු වන ට්‍රෙවිස් ප්‍රනාන්දු සහ සියලුම ක්‍රීඩාංගණ වල කලමනාකරු ලෙසින් කටයුතු කරන බද්‍රා සෙනෙවිරත්න මහත්වරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගි වුණා.

පර්සි, ක්‍රිකට් තරගයක් නැරඹීමට එන්නේ ඔහුට යන්තම් වයස අවුරුදු 12 ක් විතර වුණාට පස්සේ. පර්සි එහෙමයි අපිත් එක්ක කිව්වේ. මෙතෙක් ලොව බිහිවූ සුපිරිතම පිතිකරුවා ලෙසින් සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ශ්‍රී ලංකාවට පැමිණි 1948 තරගවලියෙ ‘සරා’ ක්‍රීඩා පිටියේ පැවැති තරගය තමයි පර්සි නරඹපු පළමු ක්‍රිකට් තරගය වෙලා තියෙන්නේ. ඒ දවස් වල ගාල්ලේ හිටපු පර්සි මේ තරගය නැරඹීම සඳහා කොළඹට එන්නේ සිය වැඩිමහල් සහෝදරයන් දෙන්නත් එක්ක.

ජීවිතයේ නරඹපු පළමු තරගයත් පර්සිට සුවිශේෂී වන්න කරුණක් තිබුණා. ඒ තරගය නරඹන්න ගිහිල්ලා පොලිස් කූඩුව ඇතුළේ නතර වෙන්න සිදුවීම. ඒ තරගය නරඹමින් සිටි සියලුම දෙනාට ක්‍රීඩාංගණය තුළට යෑම තහනම් කිරීමට එවකට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා කටයුතු කරලා තිබුණා. එවන් පසුබිමකදී අර්ධ ශතකයක් ලබාගත්ත අසිත ජයසේකරට සුභ පතන්න තමයි පර්සි පිට්ටනියට ගියේ.  පිටිය තුළට ගිය පර්සි අසිතව වැළඳ ගනිමින් සතුට පළ කිරීමට පර්සිට අවස්ථාව හම්බ වුණත් පොලිස් අණ නොතකා ක්‍රීඩාංගණයට යෑම නිසා අන්තිමට පර්සිට නවතින්න සිද්ධ වුණේ පොලිස් කූඩුවේ. කෙසේ වෙතත් එම තරගයට ක්‍රීඩා කළ සතාසිවම් පැමිණ රුපියල් 100 ක මුදලක් ගෙවා පර්සිව කූඩුවෙන් එළියට ගනු ලැබුවා. එදා සිට මේ දක්වා ලෝකයේම ක්‍රිකට් දිරි ගැන්වීමේ කලාවේ සංකේතයක් බවට පත් වෙන පර්සි ‘චියර් පර්සි’ යන සුරතල් නාමයෙන් ද හඳුන්වනු ලබනවා.

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ට වඩා දින දෙකකින් බාල පර්සිට තරග දිරිගැන්වීමට අමතරව තවත් අපූරු දක්ෂතාවයක් හෙබි අයෙක් ලෙසින් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටියි. ඒ ඕනෑම ක්‍රීඩකයකුට ඇඟට වදින ආකාරයෙන් සුප්‍රසිද්ධ වචන භාවිතා කරමින් තම ප්‍රකාශය නිකුත් කිරීමට ඇති හැකියාව ය.  අපේ ක්‍රීඩකයින්ට එම වචනවලින් කිසිදු හානියක් නොවන නමුත් ප්‍රතිවාදී කණ්ඩායම් වල ක්‍රීඩකයින්ට නම් එය නුරුස්සන දෙයක් විය. විටෙක ඔහුගේ වචන බොහෝ ක්‍රීඩකයින් කෝපාවිශ්ඨයට පත් කරවීමට තරම් නිසා එකි ජනප්‍රියතාවයද පර්සි වටා ගොඩ නැගී තිබේ.

මේ පිළිබඳව හොඳම උදාහරණය සපයන්නේ හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවකු වූ ඩේවිඩ් බූන් සමඟ ඇති කරගන්නා ලද ගැටුමය. මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයකු ලෙසින් කටයුතු කරන බූන් එකල කුකුල් කේන්තිකරුවකු විය.

බූන් පන්දුවට පහර දීමට යන විට ඔහුට ඇහෙන සේ පර්සි මෙසේ කීවේය. Come on Boon, You Tasmaninan goon, Come back soon, before noon (තස්මේනියානු මැරයා, බූන් එන්න, සවස් වෙන්න කළින් ඉක්මනින් එන්න යන දල අදහස ඇති) යනුවෙන් පැවැසූ අතර ඔහුගේ වචන වලට අනුව බූන් ලකුණු නොලබා දැවී ගියේය. ඉක්මනින් දැවී  යෑමෙන් පසු ක්‍රීඩා පිටියෙන් පිටතට පැමිණෙන බූන් වෙත තම කණගාටුව පළ කිරීම සඳහා පර්සි ගිය නමුත්, කේනිතියෙන් පුපුරමින් පැමිණී බූන් පර්සිට පහර දීම සඳහා පිත්තද රැගෙන හඹා ගියේය. එහෙත් වාසනාවකට බූන් ඇද වැටීම නිසා පහරකෑමකින් තොරව නිරුපද්‍රිතවය සිටීමට පර්සි වාසනාවන්ත විය. මේ පර්සිගේ තරග දිරිගන්වන දිවියේ එක් සොඳුරු සිදුවීමක් පමණි. ක්‍රිකට් වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කරනු ලබන මේ සුවිශේෂී පුද්ගලයාට තවත් බොහේ කලක් දිරි ගැන්වීම සඳහා ශක්තිය සහ වාසනාව ලැබේවා යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් හි පැතුමයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee