slc
logo
Home   |    News
අගෝස්තු 16, 2019
ආසියානු කුසලානට පෙර පෙරහුරුවකට නැගී එන පිල බංග්ලාදේශයට යයි

Sri Lanka Cricket

බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව් දින සහ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගිවන චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (16 දා) උදෑසන බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන තරගාවලිය මෙම වසරේ දෙසැම්බරයේදී බංග්ලාදේශයේ පැවැත්වීම හේතුවෙන් මෙම තරගාවලියේදී ලබන අත්දැකීම් එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගී එන පිලට බෙහෙවින්ම වැදගත් වනු ඇත.

ප්‍රථමයෙන්ම එක්දින තරගාවලිය ද අනතුරුව සිව් දින ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන මෙම තරගාවලි දෙකේම නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංග විසින් මෙහෙයවනු ඇත. සංචාරක කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත්ව සිටින අතර සඳුන් වීරක්කොඩි, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු හා අමිල අපෝන්සු එම ක්‍රීඩකයෝ වෙති.

ශිරාන් ප්‍රනාන්දු සහ ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවනු ලබන නුවන් තුෂාර නැගී එන එක්දින කණ්ඩායමට එක්ව සිටින අළුත්ම සාමාජිකයන් දෙදෙනාය. මොරටුව මෙතෝදිස්ත විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණවී  ඇති ශිරාන් ප්‍රනාන්දු දකුණත් මඳ වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කරයි. පළමු පෙළ 16 කට සහභාගිවී ඇති ශිරාන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 37 ක් වන අතර එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 31.43 ක් ලෙස සටහන් වේ.

‘පොඩි මාලිංග’ යනුවෙන් හැඳින් වෙන නුවන් තුෂාර මාලිංග මෙන්ම විස්සයි/20 තරග අංශයෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබේ. දේශීය විස්සයි/20 තරග 14 ක් නියෝජනය කර ඇති නුවන් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 12.88 ක් රඳවා ගනිමින් මුලු කඩුලු 25 ක් බිඳ හෙළීමට සමත්වී තිබේ.

නායක අසලංක ඇතුළු එක්දින කණ්ඩායමට නම් කරන ලද ක්‍රීඩකයින්ගෙන් 8 දෙනෙකු සිව් දින තරගාවලියට ඇතුළත්ව සිටින අතර පැතුම් නිස්සංක, මිනෝද් භානුක, ජෙහාන් ඩැනියල්, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සො,  කලන පෙරේරා සහ අශේන් බණ්ඩාර එම ක්‍රීඩකයෝ වෙති.

චමින්ද වාස් මහතා ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන 18 වැනිදා පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. දෙවැනි තරගය අගෝස්තු 21 වැනිදාද සහ තෙවැනි තරගය අගෝස්තු 24 වැනිදාද පැවැත්වෙනු ඇත. උක්ත තරග 3 ම සවාර්හි පැවැත්වීමට නියමිත අතර එම තරගාවලියෙන් පසුව ඇරඹෙන සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 27 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. කුල්නාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව දෙවැනි තරගය සැප්තැම්බර් 03 වැනිදා සිට 06 වැනිදා දක්වා කොක්ස් බසාර්හිදී පැවැත්වෙනු ඇත.

අසලංකගේ නායකත්වය යටතේ පසුගියදා දකුණු අප්‍රිකාවේ තරග සංචාරයකට සහභාගි වුණු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාල කණ්ඩායම් අතර තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගි වෙමින් එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.

එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), සඳුන් වීරක්කොඩි, හසිත බෝයගොඩ, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, මිනෝද් භානුක, ෂම්මු අශාන්, අමිල අපෝන්සො, රමේෂ් මෙන්ඩිස්, කලන පෙරේරා, ජෙහාන් ඩැනියල්, නුවන් තුෂාර, ශිරාන් ප්‍රනාන්දු, වනිඳු හසරංග.

සිව්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), ළහිරු උදාන, සංගීත් කුරේ, පැතුම් නිස්සංක, ප්‍රමෝද් මධුවන්ත, මිනෝද් භානුක, ජෙහාන් ඩැනියල්, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සො, නිශාන් පීරිස්, මොහොමඩ් ශිරාස්, කලන පෙරේරා, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අශේන් බණ්ඩාර.

Active filters

Recent Posts

  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]
  • පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ සොනාල් දිනූෂ දෙවැනි ටෙස්ට් තරගය බේරා දෙයි
    ඉන්දීය පන්දු යවන්නන්ගේ සියලු උත්සාහයන් අභිබවා යමින් සොනාල් දිනූෂ සහ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ අද (27 දා) නිමාවට පත් දෙවැනි ටෙස්ට් […]
  • සොහාන් සහ කවින්ගෙන් මංගල එක්දින ශතක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee