slc
logo
Home   |    News
සැප්තැම්බර් 21, 2019
දක්ෂතා පෙන්වීමට ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් – දෙපිළේ පුහුණුකරුවෝ කියති

Sri Lanka Cricket

ක්‍රිකට් ක්‍රීඩාවේදී ජාත්‍යන්තර තලයේ දක්ෂතා දක්වන කණ්ඩායමකට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක අවශ්‍යතාවය තදින්ම දැනේ. ක්‍රිකට් ක්‍රීඩාවේදී එම දෙවැනි පෙළ හඳුන්වනු ලබන්නේ ‘A’ ක්‍රිකට් තරගාවලි යනුවෙනි. එබැවින් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවල් ‘A’ තරගාවලි සඳහා ලබා දෙන්නේ දැඩි ප්‍රමුඛතාවයකි.

පූර්විකාවේ සඳහන් කරන ලද අදහස පෙර දැරිව ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමද මේ වන විට තරගාවලියක් සඳහා සූදානම් වෙමින් සිටියි. ඒ මොමිනුල් හක්ගේ නායකත්වය යටතේ මෙරටට පැමිණ සිටින බංග්ලාදේශ ‘A’ කණ්ඩායම සමඟය. මෙම තරගාවලිය ලබන 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොවන සිව්දින තරගයෙන් ආරම්භ වනු ඇත.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වන දෙපිළේම පුහුණුකරුවන් පවසන්නේ ජාතික කණ්ඩායමට දොර ගුළු විවර කර ගැනීම සඳහා මෙම ‘A’ ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩකයින්ට බොහෝ සෙයින් වැදගත් වනු ඇති බවයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රෝයි ඩයස් මෙන්ම බංග්ලාදේශ ‘A’ කණ්ඩායමේ පුහුණුකරු චම්පක රාමනායක මහත්වරුද අදහස් දක්වා සිටියහ.

ශ්‍රී ලංකා ‘A’ පිලේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන රෝයි ඩයස් මහතා සඳහන් කර සිටියේ සෑම ක්‍රීඩකයකුටම තමන්ගේ දක්ෂතා වෙන්වා ඉහළ තලයට පැමිණීමට මෙම තරගාවලිය අතිශයින්ම ප්‍රයෝජනයත් බවයි.  එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, “මේක ළමයින්ට අවශ්‍ය තරගාවලියක්. අපි මේ තරගාවලිය සඳහා මාස 2 කට වැඩි කාලයක් පුහුණුවීම් කළා. ඒ පුහුණු වීම් කළ කණ්ඩායමෙන් කොටසක් පාකිස්තානු තරග සංචාරය සඳහා ඇතුළත් වුණා. ඊට පස්සේ තමයි අපි මේ ඉමර්ජින් (නැගී එන කණ්ඩායම) කට්ටියව ඇතුළට ගත්තේ. මං හිතන්නේ ඉමර්ජින් කට්ටියට ඒක හොඳ චාන්ස් එකක් ඔවුන්ගේ දක්ෂතා පෙන්වලා ඉහළ කාණ්ඩයට එන්න”යි පැවැසීය.

මෙම තරගාවලිය යටතේ නිල නොවන සිව් දින ටෙස්ට් තරග 2 කට ප්‍රථමයෙන් සහභාගිවනු ලබන අතර අනතුරුව තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියට මුහුණ දෙනු ඇත. දින 25 ක කාලයක් සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශ ‘A’ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරනු ලබන්නේ හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නකු වන චම්පක රාමනායක මහතායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසින්ද කටයුතු කර ඇති රාමනායක මහතා මෙරට තණතීරු සහ ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳව හසළ දැනුමක් ඇති පුද්ගලයකු වේ. එබැවින් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ‘A’ පිල ක්‍රීඩා කළ යුතු වන්නේ සාම්ප්‍රදායෙන් පිට වෙනස්ම සැලසුමකට අනුවය.

බංග්ලාදේශයට වඩා තරමක් වෙනස් සහ පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ට එක සේ සහයෝගය දක්වනු ලබන ශ්‍රී ලංකාවේ තණතීරුවල තරග වැදීමේ අභියෝගය භාර ගැනීමට තම කණ්ඩායම සූදානමින් සිටින බව බංග්ලාදේශ ‘A’ පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන චම්පක රාමනායක මහතා පැවැසීය.

“ඔව්. අපේ ජාතික කණ්ඩායම මෙහේ ඇවිල්ලා එක්දින තරගාවලිය පරාජයට පත් වුණා. නමුත් අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීප දෙනෙක් ඒ තරගාවලියට ආවේ නෑ”යි පවසන රාමනායක මහතා, “නමුත් මේ තරගාවලිය වෙනම තරගාවලියක්. ජාතික මට්ටමේ තරගාවලියක් නොවුණට ක්‍රීඩකයින්ට ලොකු අවස්ථාවක්. මොකද මේ තරගාවලි බොහෝම ටිකයි තියෙන්නේ අවුරුද්දට. ඉතිං ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගන්න එක මං හිතන්නේ ඉතාමත් හොඳයි. මොකද ලබන අවුරුද්දෙත් මං හිතන විදියට බංග්ලාදේශ කණ්ඩායමත් මෙහේට එන්න තියෙන නිසා. ඉතිං ඒකටත් හොඳ සූදානමක් වෙනවා මේ තරුණ ක්‍රීඩකයින්ට”යි පවසයි.

මෙම තරගාවලියට සඳහා පැමිණ සිටින බංග්ලාදේශ ‘A’ කණ්ඩායමට එරට ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුළත්ව සිටිති. “ඇතුළත්ව ඉන්න සමහර ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථාන තියෙන ක්‍රීඪකයින් නොවෙයි. කළිනුත් කිව්වා වගේ ඒ අයට තියෙන ලොකුම අවස්ථාව තමයි මේ තරගාවලිය. දක්ෂතා අතරට නැවැත පැමිණීමට මේ වගේ ‘A’ තරාවලියක් අවශ්‍යයි”යි රාමනායක මහතා පවසයි.

ලබන ඔක්තෝබර් මස 12 වැනිදා දක්වා දිවෙන මෙම තරගාවලියේදී බංග්ලාදේශ ‘A’ පිලට එරෙහිව ටෙස්ට් සහ එක්දින වශයෙන් වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් නම් කර තිබෙන අතර එම කණ්ඩායම් ද්විත්වයේම නායකත්වය අශාන් ප්‍රියන්ජන්ට හිමි වී තිබේ.

තරගාවලිය පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි අශාන් ප්‍රියන්ජන්ද සඳහන් කර සිටියේ, කණ්ඩායමක් ලෙස තරගාවලියට මුහුණ දීමේ අභියෝගයට තමන් ඇතුළු කණ්ඩායම සූදානමින් සිටින බවයි. “අපි අන්තිම මාස 3, 4 දි දිගටම පුහුණුවීම් සිදු කළා. අන්තිම දවස් වල වැස්ස තියෙද්දීත් පුහුණු අංශයේ සහයෝගය ඇතුව හොඳටම පුහුණුවීම් සිදු කළා. කණ්ඩායමට එකතු වෙලා ඉන්න නැගී එන කණ්ඩායමේ අයත් පසුගිය දවස් වල බංග්ලාදේශයේ තරගාවලියක නිරත වුණා. ඒ ඔක්කොම දිහා බැළුවහම මං හිතනවා මේ තරගාවලියට කණ්ඩායමක් විදියට හොද සූදානමකින් ඉන්නවා කියලා”යැයි ප්‍රියන්ජන් සඳහන් කරයි.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest