slc
Home   |    News
ඔක්තෝබර් 6, 2019
ඉතිහාසය අළුතින් ලියැවීමේ අදිටනින් ශ්‍රී ලංකා පිල හෙට යළිත් ලාහෝර් පිටියට

Sri Lanka Cricket

Chamila Karawita reporting from Lahore

විස්සයි-20 තරග ඉතිහාසයේ මෙතෙක් පාකිස්තානයට එරෙහිව තරගාවලි ජයක් ලබා නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණ සිටියි. ඒ දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු 64 කින් ජය ගැනීමත් සමඟය. මෙම තරගාවලිය යටතේ තවත් තරග 2 ක් ඉතිරිව තිබෙන අතර එහි දෙවැනි තරගයට ශ්‍රී ලංකා පිල හෙට (07 දා) පාකිස්තානය මුණ ගැසෙනු ඇත.

සත්කාරකත්වයේ වාසීන් සියල්ලම පාකිස්තානය සතු වුවද ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජය හේතුවෙන් පාකිස්තානු පිල දැඩි පීඩනයකින් යුතුව හෙට තරගයට අවතීර්ණ වනු ඇත. අවසන් 11 දෙනා තෝරා ගැනීමේදී දක්ෂතා සහිත පිතිකරුවන් පසෙකලා හැරීම පිළිබඳව පාකිස්තානු කළමනාකාරීත්වයට මේ වන විට සෘජුවම චෝදනා එල්ල වීම නිසා එය ඔවුනට තවත් අතිරේක පීඩනයක් ගෙන දෙන්නක් බවට පත්ව තිබේ.

තරගයකට පසු දින බොහෝ විට විවේක දිනයක් බවට පත් වුවත් ලද ජයග්‍රහණය හේතුවෙන් පිබිදීමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (06 දා) ලාහෝර් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වල නිරත විය. නව නායකත්වයක් යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් ඉතාමත් උද්යෝගයකින් යුතුව සිය පුහුණුවීම් වල නිරත වනු දක්නට ලැබිණි.

මෙහිදී ප්‍රථමයෙන්ම ඇඟ උණුසුම් කර ගැනීම වෙනුවෙන් මිනිත්තු 20 ක පමණ කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අනතුරුව පිතිකරණ, පන්දු යැවීම සහ පන්දු රැකීමේ පුහුණුවීම් ආරම්භ කළහ. අනිවාර්යය පුහුණු සැසියක් නොවුණද කණ්ඩායමේ සියළු දෙනාම විදුලි ආලෝක ධාරා මධ්‍යයේ සිය පුහුණුවීම්වල නිරත වූ අයුරු දක්නට ලැබිණ. අදාළ පුහුණුවීම් වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන තණතීරුවේදී පිතිකරණ පුහුණුවීම්වල නිරත වූහ.

ධනුෂ්ක ගුණතිලක

නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විතව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළද ලද ජයග්‍රහණයත් සමඟ කණ්ඩායම තුළ යම් විශ්වාසයක් ගොඩ නැගෙද්දී එහි වැඩි පීඩනය පාකිස්තානු පිල වෙත දෝලනය වී තිබේ. ශ්‍රී ලංකා පිලේ ආම්භක පිතිකරු ලෙසින් කටයුතු කරන ධනුෂ්ක ගුණතිලක හෙට තරගය පිළිබඳව අද (06 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පවසා සිටියේය.

“අළුත් කණ්ඩායමක් විදියට මෙහේ ඇවිල්ලා පළවැනි තරගය ජය ගැනීමට හැකිවීම ලොකු දෙයක්. එයාලා එයාලගේ රටේ සෙල්ලම් කරන්නේ එයාලගේම කට්ටිය ඉස්සරහ. ඉතිං අපි වගේ පොඩි කණ්ඩායමක් මෙහෙට ඇවල්ලා සෙල්ලම් කරනකොට එයාලත් හිතපු නැතිවිදියට තමයි පරාජය වුණේ. ඒ නිසා ඇත්තටම මේ වන විට පීඩනය තියෙන්නේ පාකිස්තානය පැත්තේ”යි ධනුෂ්ක පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හැඩකාර වමත් පිතිකරුවා, තෙවැනි තරගය තෙක් බලා නොසිට හෙට තරගය ජය ගනිමින් තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීම තමන් ඇතුළු කණ්ඩායමේ බලාපොරොත්තුව වී තිබෙන බවයි. “අපි කතා වුණේ තුන්වැනි තරගය වෙනකම් තියාගන්නේ නැතුව දෙවැනි තරගයෙන්ම ඉවරයක් කරලා දාන්න”යි පවසන ගුණතිලක “තව තරග 2 ක් ඉතිරි වෙලා තිබුණත් අපි බලන්නේ තුන්වැනි තරගයට න්නේ නැතුව හෙට තරගය දිනලා තරගාවලිය අපේ පැත්තට හරවා ගන්න. කළින් කිව්වා වගේ පාකිස්තානය පැත්තට මේ වන විට පීඩනය ඇවිල්ලා තියෙන්නේ. අපිට හෙට තරගය ජය ගන්න ගොඩක් අවස්ථාව තියෙනවා. මොකද මං එහෙම කියන්නේ අපේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් මේ අවස්ථාවේදී ඉතාමත් හොඳින් සෙල්ලම් කරගෙන යන නිසා”යි පවසයි.

හෙට තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් 2007 වසර දක්වා ඈතට ඇදී යන දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද පළමු තරගාවලි ජයග්‍රහණය වශයෙන් සනිටුහන් වන්නේය. දෙරට අතර මෙතෙක් විස්සයි-20 තරගාවලි 6 ක් පවත්වා ඇතත් ඉන් එක් අවස්ථාවකදී හෝ ජය වාර්තා කිරීමට අසමත්ව තිබේ.

“ඔව්. හෙට තරගය ජය ගැනීමට ලැබුණොත් රටට වගේම කණ්ඩායමේ ඉන්න සියලුම ක්‍රීඩකයන්ට ලොකු ජයග්‍රහනයක්”යි ධනුෂ්ක පවසයි.

පාකිස්තානු පන්දු යවන්නන්ට රිදෙන්න පහර එල්ල කළ ධනුෂ්ක පන්දු 38 කදී ලකුණු 57 ක් ලබා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. හයේ පහරක් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම වර්ණවත් කරගත් ගුණතිලක කරච්චිහි පැවැති තෙවැනි එක්දින තරගයේදීද ලකුණු 133 ක් ලබා ගත්තේය. ඒ සදහා පන්දු 134 කට මුහුණ දුන් ධනුෂ්ක එය හයේ පහරකින් සහ තවත් හතරේ පහර 16 කින් වර්ණවත් කර ගත්තේය.

“ඇත්තටම මම බලන්හෙම්බවෙන හැම තරගයකදීම මගේ 100% ක් ලබා දෙන්න. එතැනදි මම ක්‍රීඩා කරන්නේ කොයි රට සමඟ ගහන්නේ කොහොද කියන එක වැදගත් වන්නේ නෑ. මොන තරගය ක්‍රීඩා කළත් 100% ක් දීළා තරගය ජය ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ”යි පිතිකරුවකු ලෙස ලද සාර්ථකත්වය පිළිබඳව ධනුෂ්ක අදහස් දැක්වීය.

මිස්බා උල්හක්

පිට පිට තරග දෙකකදී පාකිස්තානු පන්දු යවන්නන්ට මෙල්ල කළ නොහැකි පිතිකරුවකු බවට පත්ව සිටින ධනුෂ්ක ගුණතිලකව දවා ගැනීම පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ. මේ පිළිබඳව කරුණු දක්වන පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිස්බා උල් හක් පවා පවසා සිටින්නේ ප්‍රධානම ඉලක්කය බවට පත්ව සිටිනේ ධනුෂ්ක ගුණතිලකව මෙල්ල කර ගැනීමට බවයි.

“අපිට වැඩිම හානියක් කළේ ධනුෂ්ක. මීට කළින් අපිට මේ වගේ කරදරයක් වෙලා තිබුණේ කුමාර් සංගක්කාර. සංගක්කාර වගේම මේ තරගාවලියේදී ධනුෂ්ක අපිට කරදරයක් වෙලා තියෙන්නේ”යි මිස්බා පවසයි. ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය ගැනද ධනාත්මක අදහස් දැක්වූ පාකිස්තානු පුහුණුකරුවා, පිණි සහිත තත්ත්වය යටතේ දඟ පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කළ වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් තියුණු ලෙස දඟ කැවීමට සමත්වීම පිළිබඳවද තම පුදුමය පළ කර සිටියේය.

 සංයුතිය

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව තරග වැදීමේදී සාමාන්‍ය තරග රටාවේදී ජයග්‍රාහී සංයුතිය වෙනසක් සිදු නොකරමින් තරග වදිනු ලබන බැවින් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් අපේක්ෂා කළ නොහැකි. එබැවින් බොහෝ විට පළමු තරගයට ක්‍රීඩා කරන ලද 11 දෙනාම හෙට තරගයේදීද ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා පිල – 1. ධනුෂ්ක ගුණතිලක, 2. අවිශ්ක ප්‍රනාන්දු, 3.භානුක රාජපක්ෂ, 4. මිනෝද් භානුක, 5. දසුන් ශානක(නායක), 6. ෂෙහාන් ජයසූරිය, 7. වනිඳු හසරංග, 8. ඉසුරු උදාන, 9. ලක්ෂාන් සඳකැන්, 10. නුවන් ප්‍රදීප්, 11. කසුන් රජිත.

පාකිස්තානය

පිතිකරණයෙන් සාර්ථක වුණු පිතිකරුවන් සිටියදී කලකට පසු කණ්ඩායමට නම් එක් කරන ලද පිතිකරුවන් දෙදෙනෙකු ක්‍රීඩා කරන කණ්ඩායමට නම් කිරීම පිළිබඳව පාකිස්තානු නායකයාට එරට මාධ්‍යයෙන් තදබල විරෝධයක් එල්ල වී තිබේ. එහෙත් ඒ පිළිබඳව අදහස් දක්වා සිටින ශෆ්‍රාස් අහමඩ් පවසන්නේ උමර් අක්මාල් සහ අහමඩ් ශේෂාඩ් දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වා ඇති බැවින් ඔවුන් ක්‍රීඩා කරවීමෙහි වරදක් නොදකින බවයි.

කෙසේ වෙතත් අද තරගයේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් බොහෝ විට ෆකාර් සමාන් හෝ හැරිස් සොහෙල් ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කළ හැක. 

පාකිස්තානු පිල – 1. ෆකර් සමාන්, 2. බාබර් අසාම්, 3. උමර් අක්මාල්, 4. සෆ්‍රාස් අහමඩ් (නායක), 5. ඉෆ්තිකාර් අහමඩ්, 6. අසීෆ් අලී, 7. ඉමාඩ් වසීම්, 8. ශාදාබ් ඛාන්, 9. ෆහීම් අශ්රෆ්, 10. මොහොමඩ් අමීර්, 11. මොහොමඩ් හස්නේන්.

තණතීරුව

ගාඩාෆි තණතීරුව යනු සාම්ප්‍රදායික ලෙස පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද එකසේ දායකත්වයක් ලබා දෙනු ඇත. මෙහි ප්‍රධානම සාධකය බවට පත්ව ඇත්තේ රාත්‍රී කාලයේ ඇතිවන පිණි සහිත තත්ත්වයයි. ඒ අනුව මෙම තණතීරුවේදී කාසියේ වාසිය දිනාගනිමින් පන්දුවට පහර දීම යෝග්‍ය වනු ඇත.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest