slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2019
නැගී එන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන ඇරඹෙයි

Sri Lanka Cricket

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ප්‍රථම වතාවට පත්වනු ලබන ආසියානු කුසලාන නැගී එන කාන්තා කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය මෙම මස 22 වැනිදා කොළඹදී ආරම්භ වනු ඇත. සමාරම්භක දිනයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම කොළඹ තර්ස්ටන් ක්‍රීඩා පිටියේදීත් තරග වදිති.

ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. සත්කාරක ශ්‍රී ලංකාව හැරුණු කොට බංග්ලාදේශ, ඉන්දියාව සහ පාකිස්තානය තරග වදින සෙසු රටවල් වෙති. තරගාවලියේ මූලික වටය ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන අතර සියළුම කණ්ඩායම් පළමු වටය යටතේ මුණ ගැසෙනු ඇත.

ගෙවී ගිය මාස 2 ක කාලය ඇතුළත ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන දෙවැනි තරගාවලිය බවට පත්ව තිබෙන මෙම තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් ලබන 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇත.තරගාවලියේ සියළුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

තරගාවලියේ ව්‍යුහය

නැගී එන කණ්ඩායම් අතර තරගාවලිය ප්‍රධාන වශයෙන්ම වයස අවුරුදු 23 න් ක්‍රීඩිකාවන් සඳහා විවෘත වන නමුත් එකී වයස් සීමාව ඉක්මවූ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට ද ක්‍රීඩා කරන 11 දෙනා අතරට පැමිණීමේ අවස්ථාව උදා වනු ඇත.  සමස්ථ සංචිතය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඒ අතර වයස 23 ඉක්මවූ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු ඇතුළත් කිරීමේ අවස්ථාව සහභාගිවන රටකට උදා වී තිබේ.

ශ්‍රී ලංකා කාන්තා නැගී එන පිල

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන නැගී එන කණ්ඩායම් අතර වන ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර මෙම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හර්ෂිතා මධුවන්තිට පැවැරී තිබේ.

තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි හර්ෂිතා, “අපිට සමබර කණ්ඩායමක් ඉන්නවා. මෙහි වයස අවුරුදු 23 ට වඩා ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් සහ ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩිකාවන් 8 දෙනෙක් ඉන්නවා. ඒක අපිට ලොකු හයියක්. මොකද ඒ අයට තරග ක්‍රීඩා කරලා හොඳ අත්දැකීම් තියෙන නිසා. ඒ වගේම මෙවැනි තරගාවලියක් තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීම තුළින් වයස අඩු ක්‍රීඩිකාවන්ට ගොඩක් ලොකු අත්දැකීමක් ලබා ගන්න හැකි වෙනවා”යි පැවැසුවාය.

21 හැවිරිදි වියේ පසුවන හර්ෂිතා වමතින් පිත්ත හසුරුවන්නියක් වන අතරම ජාතික කණ්ඩායමේ වර්ණලාභිණියකද වන්නීය. ඇයට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩිකාවන් 7 දෙනෙකු මෙම තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. ඒ අතර හසිනි පෙරේරා, උමේෂා තිමේෂානි, කවීෂා දිල්හාරි, මධුශිකා මෙත්තානන්ද, ඉමල්කා සංජීවනී, මල්ශා ශෙහානි සහ තාරිකා සෙව්වන්දි එම ක්‍රීඩිකාවෝ වෙති. ඒ අතරින් හසින පෙරේරා, මධුශිකා මෙත්තානන්ද, ඉමල්කා සංජීවනී සහ මල්ෂා ශෙහානි වයස අවුරුදු 23 ඉක්මවන ලද ක්‍රීඩිකවෝ සිව්දෙනා වෙති.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පළමු අභියෝගය බවට පත්ව ඇත්තේ පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරගය වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී පාකිස්තානු පිල වෙනුවෙන් එරට ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩිකාවන් 7 දෙනෙකු නියෝජනය කරති. ඒ අතරින් දෙදෙනෙකු වයස අවුරුදු 23 ඉක්මවූ ක්‍රීඩිකාවන් වන අතර නායක රමීන් ශමීම්, ජවරියා රාවුෆ්, ක්‍යානාත් හෆීස් සහ වහීදා අක්ටර් එම ක්‍රීඩිකාවෝ වෙති.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට තරගාවලිය නියෝජනය කරනු ලබන සියළුම කණ්ඩායම් වල නායිකාවන්, පුහුණුකරුවන්, කණ්ඩායම් කලමනාකරුවන්, තරගාවලි නිලධාරීහූ සහභාගිවූහ. ඒ අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවර්ධන සහ තරගාවලි කළමනාකරු ලෙසින් කටයුතු කරන සුල්තාන් රානා මහතාද විය.

සහභාගිවූහ. ඉන්දීය කණ්ඩායමේ නායිකාව ලෙස දේවිකා වෛද්‍යාද, පාකිස්තානු කණ්ඩායමේ නායිකාව ලෙස රමීන් ශාමීම් සහ බංග්ලාදේශ නායිකාව ලෙස ශයිලා ශර්මින් යන ක්‍රීඩිකාවන් කටයුතු කරන අතර  ඔවුන් සියළු දෙනාම පවසා සිටියේ මෙවැනි තරගාවලියක් කාන්තා ක්‍රිකට් අනාගතයට ඉතාමත් වටිනා එකක් වන බවයි.

මෙම තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභා සාමාජික බන්දුල දිසානායක මහතා අදහස් දක්වමින් පැවසූවේ මාස 2 ක් වැනි කෙටි කාලයක් ඇතුළත ආසියානු ක්‍රිකට් තරගාවලි 2 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව සැලසීම සම්බන්ධව තමා ආසියානු ක්‍රිකට් කවුන්සිලයට ස්තූතිවන්ත වන බවයි.

“කාන්තා ක්‍රිකට් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන අවධියකයි අපි දැන් ඉන්නේ. 2021 දී පැවැත්වීමට නියමිත නැගී එන කණ්ඩායම් අතර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යෙදීම සම්බන්ධව අපි ආසියානු ක්‍රිකට් කවුන්සිලයට ස්තූතිවන්ත විය යුතුයි. ඇත්තටම මේ තරගාවලිය අවසන් මාස 2 ඇතුළත අපි පවත්වන දෙවැනි ආසියානු ක්‍රිකට් තරගාවලිය. මීට මාස 2 කට කළින් අපි වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුවා”යි දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා පිල – හර්ෂිතා මධුවන්ති (නායිකා), හසිනි පෙරේරා, ඉමල්කා මෙන්ඩිස්, මධුෂිකා මෙත්තානන්ද, මල්ෂා ශෙහානි, කවීෂා දිල්හාරි, ලිහිණි අප්සරා, උමේෂා තිමාශිනී, සත්‍යා සංදීපනී, ජිමාන්ජලී විජේනායක, සචිනි නිසංසලා, තාරිකා සෙව්වන්දි, ශිකාරි නුවන්තා, නිලක්ෂණා සඳමිණි, සයනි ඕෂධී.

ඉන්දීය පිල – දේවිකා වෛද්‍යා (නායිකා), එස්. මෙඝනා (උප නායිකා), හස්තිකා භාටියා, ටෙජාල් හසබ්නිසි, ටනූෂි සර්කාර්, සිමරන් දිල්, නුෂාට් පර්වීන්, ආර්. කල්පනා, මනාලි දක්ෂිණි, ක්ෂමා සිං, අන්ජලී සර්වානි, මිනූ මානී, සුශ්‍රී දිබ්යාදර්ශිනී, ටී.පී. කන්වර්, රශී කනෝජියා.

පාකිස්තානු පිල – රමීන් ශමින් (නායිකා). අයේෂානසීම්, ෆාතිමා ඛාන්, හෆ්සා ඛලීඩ්. හුරායිනා රවුෆ්, කයිනාත් හෆීස්, මහම් තරික්, මුනීබා අලි, නජිහා අලී, නජිහා අල්වි, නශ්රා සන්ධු, නොරෙන් හකූබ්, සෙයිඩා අරෝබ්, ටුබා හසන්, වහීදා අක්ටර්.

බංග්ලාදේශ පිල – ශයිලා ශර්මින් (නායිකා), නුෂාද් ටස්නියා, මුර්ෂිඩා ඛටුන්, සොබනා මොස්ටරි, ෆාහිමා ඛටුන්,මොසමත් රිතූ, ඉෂ්මා ටැන්ජිම්, රුබ්යා ජිලික්, නහිඩා අකටර්, සූර්යා අසීම්, පූජා චක්‍රබෝතී, රෙබ්යා, මුම්ටා හස්නට්, මොසම්මත් ෆරිහා, ඉස්ලාම් ට්‍රිස්නා, සුමේයා අක්ටර්.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest