slc
logo
Home   |    News
ඔක්තෝබර් 10, 2019
පාකිස්තානය 3-0 කින් පැරදවූ ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක්

Sri Lanka Cricket

Chamila Karawita reporting from Lahore

ක්‍රීඩා කිරීමට වරම් නොලද ක්‍රීඩකයින් 5 දෙනෙකු හට අවස්ථාව සලසමින් තරග වැදුණද සත්කාරකයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තෙවැනි විස්සයි-20 තරගයේදී පාකිස්තානු පිල ලකුණු 13 ක පරාජයකට ඇද දමමින් 3-0 ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක් අද (09 දා) අත්වින්දහ. විස්සයි-20 තරග ඉතිහාසයේ පාකිස්තානු කණ්ඩායමක් තම මව්බිමේදී පූර්ණ තරගාවලි සුද්දයකට ලක්වූ (3-0) පළමු තරගාවලිය බවට ඉතිහාස ගත වූ මෙම තරගාවලිය, 1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක ශූරතාව දිනාගත් ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදීම ලබා ගැනීමට හැකි වීම දෛවෝපගත සිදුවීමකි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් රහිතව පැමිණී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ අද දණ නමන ලද්දේ විස්සයි-20 ශ්‍රේණිගත කිරීමේ ලොව අංක 1 කණ්ඩායම වන බැවින් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ලදස සුවිශාල ජයග්‍රහණයක් වනු ඇත. ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිල පන්දුවාර 20 කදී ලකුණු 134 කට සීමා කිරීම වෙනුවෙන් පෙරමුණ ගත් වනිඳු හසරංග ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ඉඩ විවර කර දුන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියක සියළුම තරග ජය ගෙන නොමැති බැවින් එවැනි සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද මෙම තරගාවලිය ඉතිහාස ගත විය. මව්බිමේදී පරාජයට පත් නොවුණද පාකිස්තානු පිල මීට පෙර එංගලන්තය හමුවේ 2015 වසරේදී පූර්ණ තරගාවලියක් පරාජයක් ලබා තිබේ. රටින් පිට හෙවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති එම තරගාවලියේ ලද 3-0 ක පරාජයකින් පසු පාකිස්තානය ලද දෙවැනි පූර්ණ තරගාවලි පරාජය වන්නේ ශ්‍රී ලංකාව හමුවේ අද ලද තරගාවලි පරාජයයි.

කසුන් රජිත යන ලද පළමු පන්දුවෙන්ම ෆකර් සමාන් දැවී ගියද හැරිස් සොහෙල්ට එක්වූ බාබර් අසාම් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක් එක් කරමින් ජයග්‍රහණය පසු පස හඹා ගියහ. එහෙත් ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ බාබර් අසාම්ගේ දැවී යෑමත් සමඟ එම සම්බන්ධතාවයට තිත තැබිණ.

ශ්‍රී ලංකා පිලට තරමක් හිසරදයක් වුණු හැරිස් සොහෙල් පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ 4 ක් සමඟ ලකුණු 52 ක් ලබා පාකිස්තානු පිල ජයග්‍රාහී මාවතට රැගෙන යෑමට දැඩි උත්සාහ දරද්දී වනිඳු හසරංග ඊට හරස් විය. 16 වැනි පන්දුවාරයේදී සොහෙල්ව දවා ගත් වනිඳු යළිත් 18 වැනි පන්දුවාරයේ පළමු සහ අවසන් පන්දුවලදී අවශ්‍යම පිතිකරුවන් යුගලක් වූ අසීෆ් අලී (01) සහ නායක සෆ්‍රාස් අහමඩ්ගේ (17) කඩුලු දවා ගනිමින් එතෙක් වෙලා දෙපිළටම ජයග්‍රහණය දෝලනය වූ තරගයේ සියළු වාසීන් ශ්‍රී ලංකා පිල වෙත ලබා දුන්නේය.

ලකුණු 58 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී පිටියට පිවිසි මංගල විස්සයි-20 තරග වරම් ලාභී ඕෂධ ප්‍රනාන්දු, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 46 කදී නොදැවී ලකුණු 78 ක් රැස් කර ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග වරම් ලද 84 වැනි ක්‍රීඩකයා බවට පත්වූ ඕෂධ සිය මංගල ඉනිම අර්ධ ශතකයකින් වර්ණවත් කරගන්නා ලද්දේ ශ්‍රී ලංකාවෙන් එවැනි හපන්කමක් කළ පළමු ක්‍රීඩකයා බවටද පත්වෙමින්.

සිය විස්සයි-20 තරග දිවියේ පළමු පන්දුවටම හතරේ පහර කින් සංග්‍රහ කරමින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ඕෂධ දෙවැනි පන්දුවටද හයේ පහරක් එල්ල කරන ලද්දේ පන්දු යැවූ උස්මාන් ශින්වාරිව තඹේකට මායිම් නොකරමිනි. ශ්‍රී ලංකාවට හිමි පන්දුවාර 20 අවසන් වන තෙක්ම බිඳ දැමීමට නොහැකි වූ ඕෂධගේ වටිනා ඉනිම වටා හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් එතී තිබිණ.

නායක දසුන් ශානකට එක්වූ ඕෂද කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගන්නා ලද්දේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 76 ක සම්බන්ධතාවයක් පවත්වමිනි. ඒ වෙනුවෙන් ඕෂධ ලකුණු 56 කින් දායකත්වය දක්වද්දී ශානක දායකත්වය දැක්වූයේ 12 කිනි. දැවැන්ත පහර සමඟ වේගයෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවකු වුවද නායක දසුන් ඊයේ දිනයේදී සුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරඹ රටාව වෙනුවට තැන්පත් ආකාරයෙන් පන්දුවට පහර දුන්නේ එම කඩුල්ල දැවී ගියහොත් තම කණ්ඩායමට අත්වන ඉරණම පිළිබඳව හොඳ හැටි වැටහීමක් තිබූ බැවිනි.

පෙර පැවැති තරගවලදී පරිදි අවසන් පන්දුවාර කීපයේදී වේගයෙන් ලකුණු රැස් කිරීමේ අරමුණ ඇතිව හැකි තරම් පන්දුවට පහර දීමේ අවස්ථාව ආධුනිකයාට ලබා දුන් දසුන් වග බලා ගත්තේය. එහෙත් නොසිතූ මොහොතක වහාබ් රියාස්ගේ ගොදුරක් ලෙසින් දසුන් දැවී යෑම නිසා වැය කරන ලද පන්දු සංඛ්‍යාවට සාධාරණයක් ඉටු කිරීමේ අවස්ථාව ශානකට අහිමිවිය. ෆකර් සමාන් උඩ පන්දුවක් රැක ගනිමින් ඉනිම නිමාවට පත්වන දසුන්ට රැස්කරගත හැකි වී තිබුණේ පන්දු 25 කදී ලකුණු 12 ක් පමණි.

පළමු තරගවලදී සිදුවූ වැරදි හදා ගනිමින් අද තරගයට අවතීර්ණ වුණු පාකිස්තානු පන්දු යවන්නෝ ආරම්භයේ සිටම නිසි එල්ලයකට පන්දු යවමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමූහ. ඒ අනුව සාර්ථක ඵල නෙළා ගත් මොහොමඩ් අමීර් ප්‍රමුඛ පාකිස්තානු පන්දු යවන්නෝ පළමු පන්දුවාර 5 අවසන් වන විට ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම දවා ගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 30 ක් සටහන්ව තිබියදීය.

පළමු පන්දුවාර දෙකේදී ලකුණු 19 ක් ලකුණු පුවරුවේ රඳවමින් වේගවත් ආරම්භයක් ලබා දුන් ධනුෂ්ක ගුණතිලක සහ සධීර සමරවික්‍රම සමත් වුවත් ඊළඟ පන්දුවාරයේදී පාකිස්තානයට හිස රදයක් වී තිබෙන ධනුෂ්ක ගුණතිලකව ලකුණු 08 කට දවා ගත්තේය. වේගය අඩාල කරමින් මොහොමඩ් අමීර් එවන ලද පන්දුවක් කෙළින්මේ කඩුල්ලේ දැවී යමින් ධනුෂ්ක දැවී ගිය අතර ඊට පන්දු 6 කට පසු සධීරද දැවී ගියේය. අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට එකතු වී සිටින සධීර (12) ඉමාඩ් වසීම්ගේ පන්දු හම්වේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට ලකුණු පුවරුව ලකුණු 28 ක් ලෙසින් සටහන් විය.

එම පන්දුවාර 5 තුළදී පන්දුවාර 2 ක් ක්‍රියාත්මක කළ මොහොමඩ් අමීර් භානුක රාජපක්ෂව දවා ගනිමින් පීඩනය තව තවත් වැඩි කළේය. වෙනස් කම් 5 ක් සිදු කරමින් කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයින් අතරින් එක් ක්‍රීඩකයකු වූ ඇන්ජලෝ පෙරේරාද හොඳින් ලකුණු රැස් කරමින් සිටියදී දුවද්දී දැවී යෑමකට හසුව අවාසනාවන්ත ලෙස දැවී ගියේය. එය ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටුණු සිව්වැනි කඩුල්ල බවට පත්විය.

නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී විස්සයි-20 තරග වරම් ලද ළහිරු මධුශංකට අද දිනයේ රැස් කර ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. මොහොමඩ් අමීර්ගේ තෙවැනි ගොදුර බවට පත්වෙමින් ළහිරුගේ ඉනිම හමාර වූ අතර දැවී ගිය අවසන් පිතිකරුවා වූ වනිඳු හසරංගද ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්ද්දී දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 7 ම පන්දුවාරයක අන්තිම පන්දුවේදී සටහන් වීමද කැපී පෙනුණි. එහිදී ධනුෂ්ක ගුණතිලක දෙවැනි පන්දුවාරයේ (2.6), සධීර සමරවික්‍රම සිව්වැනි පන්දුවාරයේ (3.6), භානුක රාජපක්ෂ පස්වැනි පන්දුවාරයේ (4.6), ඇන්ජලෝ පෙරේරා අටවැනි පන්දුවාරයේ (7.6), දසුන් ශානක 18 වැනි පන්දුවාරයේ (17.6), ළහිරු මධුශංක 19 වැනි පන්දුවාරයේ (18.6) සහ වනිඳු හසරංග 20 වැනි පන්දුවාරයේ (19.6) අවසන් පන්දුවලට දැවී ගියහ.

තරගයේ වීරයා – වනිඳු හසරංග

තරගාවලියේ වීරයා – වනිඳු හසරංග

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar