slc
logo
Home   |    News
ඔක්තෝබර් 25, 2019
පාසල් ක්‍රිකට් නංවන්න ප්‍රතිපාදන වැඩි කරන බවට ක්‍රිකට් සභාපතිගෙන් ප්‍රතිඥාවක්

Sri Lanka Cricket

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මුල වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවයි. ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු අතළොස්සක් හැරුණු කොට මෙතෙක් ජාතික කණ්ඩායමට පැමිණි බහුතරයක් පාසල් ක්‍රිකට් හරහා බිහි වූවන් බව නොරහසක්. එබැවින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම අනාගතයේ දක්ෂ ක්‍රීඩකයන් බිහි කර ගැනීමට හොඳම ආයෝජනය වේ. ඒ පිළිබඳව අවධානය යොමු කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් දක්වන්නේ ඉමහත් උනන්දුවක්.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ එක් වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා මුල පිරුවා. ඒ පාසල් ක්‍රිකට් තරග සඳහා අත්‍යවශ්‍යම අංගයක් වන පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) පිරිනැමීමට කටයුතු යෙදීමෙන්. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සිදුකෙරුණු මෙම වැඩපිළිවෙළෙහි ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 16 ක් වෙනුවෙන් එම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමුණා.

මෙම පන්දු යැවීමේ යන්ත්‍ර සාමාන්‍ය යන්ත්‍රවලට වඩා තරමක් වෙනස්. සාමාන්‍ය යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා රැහැන් භාවිතා කර විදුලි බලය ලබා දිය යුතු වුවත් ක්‍රිකට් ආයතනයෙන් ලබාදුන් යන්ත්‍රවලට රැහැන් හරහා විදුලි බලය ලබා දීමක් අවශ්‍ය වන්නේ නෑ. ඒ ඇයිද කියනවා නම් එහි අන්තර්ගත කොට තිබෙන විදුලි කෝෂය (Battery) හරහා විදුලිය ගබඩා කර ගත හැකි වීමත්,  අය අවසන් වීමෙන් පසු නැවත ආරෝපණය කරගත හැකි (Charging) ආකාරයෙන් නිර්මාණය කරන ලද පන්දු යැවීමේ යන්ත්‍රයක් නිසා. මෙවැනි යන්ත්‍රයක් විදේශයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පළමු අවස්ථාවත් මෙයයි.

තාක්ෂණයෙන් ඉහළ මෙම පන්දු යැවීමේ යන්ත්‍රය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හයලක්ෂ පනස්දහසක් පමණ (රැ. 650,000/=) වන අතර ප්‍රමුඛ පෙළ ක්‍රීඩා කරන පාසල් 36 වෙත ලබා දීමට කටයුතු යොදා තිබේ. එහි මුල් අදියර ලෙස අවසන් පාසල් තරගවාරයේ කාණ්ඩ 4 හි පෙරමුණ ගෙන සිටි පාසල් 4 බැගින් වූ පාසල් 16 ක් සඳහා මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදාදීම සිදු කෙරුණු ඉතිරි පාසල් සියල්ල සඳහාද මේ වන විටත් පන්දු යැවීමේ යන්ත්‍ර ඇණවුම් කොට තිබේ. ඇණවුම් කරන ලද එම යන්ත්‍ර ශ්‍රී ලංකාවට පැමිණි විගසම එම පාසල්වලට බෙදා දීමට කටයුතු යොදනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු එම පන්දු යවන යන්ත්‍ර පිරිනැමීමේ අවස්ථාව සඳහා එම පාසල් වල විදුහල්පතිවරුන්, ක්‍රීඩා භාර ආචාර්යවරුන් මෙන්ම කණ්ඩායම් නායකයින්ද සහභාගිවී සිටියා. ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මෙම චාම් උත්සවයේදී මරදන ශාන්ත ජෝෂප්, ගල්කිස්ස ශාන්ත තෝමස්, මොරටුව ශාන්ත සෙබස්තියන්, නාලන්ද, වේල්ස් කුමාර, තර්ස්ටන්, ගාල්ල මහින්ද, ගාල්ල රිච්මන්ඩ්, මීගමුව මාරිස්ටෙලා, මාතර ශාන්ත සර්වේශස්, බම්බලපිටිය ශාන්ත පීතර, මරදාන සහිරා, මහානාම, කොටහේන ශාන්ත බෙනඩික්ස් සහ ආනන්ද යන විදුහල්වල මෙම පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමුණා.

මෙහිදී විදුහල්පතිවරුන් ඇතුළු එම අවස්ථාවට සහභාගිව සිටි පිරිස හමුවේ අදහස් දක්වා සිටි සභාපති ශම්මි සිල්වා මහතා, පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් මෙතෙක් වෙන්කොට තිබූ මුදලට වඩා වැඩි මුදලක් ඉදිරියේදී ලබා දීමට පියවර ගන්නා බවයි.

“ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට යන්න නම් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒ වෙනුවෙන් අපි පාසල් වලට ඕනෑ සහයෝගයක් ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා. ඇත්තටම අපේ විධායක කමිටුව තීරණය කරලා තියෙනවා ලබන මාර්තු වන විට අඩුම වශයෙන් දැන් ලබා දෙන මුදලට වඩා වැඩි මුදලක් පාසල් ක්‍රිකට් වෙනුවෙන් වෙන් කරන්න. අපි දන්නවා මේ වගේ දේවල් වලට යන වියදම් පාසල්වලට දරාගත නොහැකි බව. ඒ ගැන කල්පනා කරලා තමයි අපි පාසල්වලට ලබා දෙන මුදල වැඩි කිරීමට තීරණය කළේ. පාසල් ක්‍රීඩාවෙන් දක්ෂ ක්‍රීඩකයෝ බිහි වෙනවා. විශේෂයෙන් අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩයෙන් කෙළින්ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකි ක්‍රීඩකයින් බිහි කිරීමේ හැකියාව තියෙනවා. මම හිතනවා අපි මේ ලබා දෙන ප්‍රතිපාදන අනුව ඒක ඉක්මනටම ඉස්සරහදි වෙයි කියලා”යි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන ලද මෙම කර්තව්‍ය පිළිබඳව පාසල් කීපයකම විදුහල්පතිවරුන් මෙහිදී සිය ස්තූතිය පළ කර සිටීමද කැපී පෙනුණි.

එහිදී අදහස් දක්වා සිටි කොළඹ මහානාම විදුහලේ විදුහල්පති එල්. එම්. ඩී. ධර්මසේන මහතා, “ක්‍රීඩකයින් බිහි කරන තෝ තැන්න තමයි පාසල. පාසල් ක්‍රිකට් නැතුව ජාතික කණ්ඩායම ගැන කතා කරන එක බොරුවක්. ඒ අතින් බලනවිට ක්‍රිකට් ආයතනය ඉතාම වටිනා උපකරණයක් අපේ පාසල් වෙනුවෙල් ලබා දීම පිළිබඳව අපි විශේෂයෙන්ම ස්තූති කළ යුතුයි. විදුහල්පතිවරුන් හැටියට අපෙත් යුතුකමක් තියෙනවා ඔබතුමාලා ලබා දෙන මේ උපකරණ අරගෙන අපේ දරුවන්ව ඉතාමත් හොඳින් පුරුදු පුහුණු කරලා ඔබතුමන්ලා වෙතම ආයෙත් ලබා දෙන්න. ඒ අනුව මේ වැඩපිළිවෙල ඉතාමත් හොඳ කාලෝචිත වැඩසටහනක් කියලා අපි සලකනවා. මේ කාර්යය සඳහා  සමස්ත ලංකාවම නියෝජනය කරන දරුවෝ වෙනුවෙන් මේ අවස්ථාවේදී ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු කාර්යය මණ්ඩලය ලබා දුන් දායකත්වය ගැන මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා”යි පැවැසීය. ධර්මසේන මහතාට අමතරව මරදාන සහිරා විදුහලේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් මහතා, කොළඹ නාලන්ද විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා සහ කොටහේන ශාන්ත බෙනඩික්ස් විදුහලේ විදුහල්පති ඒ. ඊ. ටාශියස් සහෝදරතුමාද අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයට තම ස්තූතිය පළ කළහ.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest