slc
logo
Home   |    News
ඔක්තෝබර් 11, 2019
යළි නැගී සිටීමට මේ තරගාවලිය හොඳ ආරම්භයක් – දසුන් ශානක

Sri Lanka Cricket

ලොව දහසකුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතර ලාහෝර් නුවර පිහිටා ඇති ගඩාෆි ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට සුවිශේෂී ක්‍රීඩාංගණයකි. ඒ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් වෘත්තීය භාවයකට පත්වීමේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ 1996 ලෝක කුසලාන දිනූ ක්‍රීඩාංගණය බවට පත්ව තිබීමය. එම ජයග්‍රහණයෙන් පසු විටින් විට අප ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් කිරීමට සමත් වුවද ජ්‍යෙෂ්ඨයින්ගේ සමුගැන්මත් සමඟ ගෙවී ගිය වසර කීපය නම් ශ්‍රී ලංකාවට එතරම් සතුටු දායක තත්ත්වයක නොවීය. ක්‍රීඩා කළ බහුතරයක් තරග පරාජයට පත්විය. එසේ දිනෙන් දිනම පරාජයේ අඩියට යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නව පරිපාලනය විසින් ක්‍රීඩාව සම්බන්ධව ගනු ලබන තීරණ තීන්දු සමඟ දිනෙන් දින කණ්ඩායමක් ලෙස වර්ධනය වෙමින් පවතියි. එහි එක් ප්‍රතිඵලයක් ලෙස ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායමට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය හැඳින්විය හැක.

1996 ලෝක කුසලාන දිනා ගත් එම ක්‍රීඩාංගණයේදීම සත්කාරක පාකිස්තානයට එරෙහිව ඓතිහාසක තරගාවලි පරාජයක් උරුම කර දුන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාව විස්සයි-20 තරග ඉතිහාසය අළුතින් ලියැවීමට සමත් වූයේ පාකිස්තානු පිල ඔවුන්ගේ මවුබිමේදී පූර්ණ තරගාවලි පරාජයකට පත්කළ පළමු රට බවට පත් වෙමිනි. ඒ තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස පාකිස්තානු පිල පරාජයට කරමින්.

ලද ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක දසුන් ශානක ද පවසා සිටින්නේ 1996 වසරේදී ලෝක ශූරතාව දිනූ ක්‍රීඩාංගණයේදීම පාකිස්තානු පිල 3-0 ක් ලෙස පරාජය කිරීමට හැකිවීම ඉතාමත් සතුටට කරුණක් බවත් එම ජයග්‍රහණය අපේ ක්‍රිකට් ක්‍රීඩාව යළි නැගී සිටීමට හොඳ ආරම්භයක් ලෙස ගත හැකි බවයි.

“1996 ලෝක කුසලාන දිනාගත් ක්‍රීඩාංගණය. ලෝකු කුසලානයක් දිනනවා කියන්නේ ඒ ගැන කියන්න වචන නෑ. මේ ජයග්‍රහණයත් ඒ ජයග්‍රහණයත් සමාන කරන්න කොහොමටවත් බෑ. නමුත් මේක හොඳ ආරම්භයක්. විශේෂයෙන් ලෝක කුසලානයක් දින්න ග්‍රවුන්ඩ් එකෙන්ම නැවත නැගිටීමට හැකිවීම ක්‍රීඩාවේ ලොකු පිබිදීමක්. මේ ජයග්‍රහණයත් එක්ක ඉස්සර වගේම අපේ මිනිස්සු ක්‍රිකට් වලට ආදරය කරන්න ගනිවී ගියලා මම හිතනවා”යි ශානක පවසයි.

ලද සුවිශේෂී ජයග්‍රහණයෙන් අනතුරුව සිය මව්බිම බලා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් තොටුපොළේ සිටම හිමිවූයේ උණුසුම් පිළි ගැනීමකි.  විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තය හරහා රතු පලසින් පැමිණි දසුන් ශානක ප්‍රමඛ නඩය ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් විසින් මල් මාලා පැළඳවමින් උණුසුම් ලෙස පිළිගත්හ. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවටද සහභාගි නොවීමට අමතක නොකළ සංචාරක පිරිස අතරින් අදහස් දැක්වූ ජයග්‍රාහී විස්සයි-20 පිළේ නායකයා එහිදී මෙසේ යළිත් අදහස් පළ කර සිටියේය.

“ඇත්තටම කියනවා නම් ඒ තරගාවලිය එතරම් අභියෝගයක් තිබුණේ නෑ. මම කාලයක් මේ ක්‍රීඩකයින් එක්ක සෙල්ලම් කරලා තියෙනවා. ඉතිං මම දන්නවා එයාල සතුව තියෙන්නේ මොන වගේ දක්ෂතාද කියන එක. ඒ වගේම එයාලව පාවිච්චි කර්න ඕන මොන වෙලාවෙද කියන එක මම හොඳට දැනගෙන හිටියා. ඒ වගේම පුහුණුකරු රොමේෂ් සර්, ජෙරම් සර්, අසන්ත සර් මට කණ්ඩායම් රැස්වීම් වලදී ගොඩක් අදව් කළා. විශේෂයෙන් කණ්ඩායම තරගයට ගිහිල්ලා මොන වගේද ක්‍රීඩා කරන්න ඕන කියන එක ගැන. එතැනදී විශේෂයෙන්ම තරගය ඇතුළේ හැන්ඩ්ල් කරන විදිය තමයි ගොඩක් වෙලා එයාලත් එක්ක කතා කළේ. ඒ අනුව මට ගොඩක් ලේසි වුණා මැද්දෙදි තරගය හැන්ඩ්ල් කරන්න”යි ශානක වැඩිදුරටත් අදහස් දැක්වීය.

කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමේදී ආත්ම විශ්වාසය මෙන්ම එකමුතු කමද ජයග්‍රහණය සඳහා එක ලෙසින් දායකත්වය දක්වන බව විශ්වාස කරන දසුන්, ක්‍රීඩා කරන ලද තරග වලදී දැවැන්ත ඉනිම ක්‍රීඩා නොකළද තරගයේ ජයග්‍රහණයට පැහැදිළි බලපෑමක් කළ හැකි අයුරින් පන්දුවට පහර දුන්නේ සැබැවින්ම පරිණත ක්‍රීඩකයෙකුගේ ලක්ෂන විදහා පාමිනි.

“ඔව්.  මම මුලින්ම කණ්ඩායමට ආවේ වේගයෙන් පන්දුවට පහර දෙන්නෙක් විදියට. ඒත් කාලයක් සෙල්ලම් කරනකොට කොහොමත් පරිණත වෙනවා. ඒ වෙනුවෙන් මට අසන්ත (ද මෙල්) සර් ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ වගේම රොමේෂ් සර් සහ ජෙරම් සර් හැම වෙලේම මම මොකද්ද කරන්නේ කියලා බලාගෙන ඉන්නවා. එයාලා හැම තිස්සේම කියන්නේ බෝල 20 ක් 30 ක් ගහනවා නම් මගේ තියෙන වටිනාකම වැඩියි කියලා”යි පවසන දසුන්, “කාලයක් ක්‍රීඩා කරනකොට ඕනම ක්‍රීඩකයෙක් පරිනත වෙන්න ඕන. නැත්නම් ඒ ක්‍රීඩකයන්ගෙන් වැඩක් නෑ. අපේ තිබුණු සැලසුම් එක්ක මගේ තිබ්බ පරිණත භාවය මම පෙන්නුම් කළා කියලා මම හිතනවා”යි දසුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar