slc
logo
Home   |    News
ජූනි 29, 2026
බිඳුණු සිහිනයක්…! උපන් විශ්වාසයක්…!!

sinhala editor

ලෝක කුසලාන සිහිනය අතේ දුරින් තිබියදී එය ගිලිහී යෑම සෑම ක්‍රීඩකයකුටම මෙන්ම රසිකයකුටම ද වේදනාකාරී අත්දැකීමකි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටද එම අත්දැකීම මෙවර අත් විඳින්නට සිදු විය. එංගලන්තයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ස්කොට්ලන්තයට එරෙහි ජයග්‍රහණයෙන් තරගාවලිය නිමා කළද අර්ධ අවසන් වටයට යන මාවත ප්‍රසාද ලකුණු සටහනේ වූ සියුම් පරතරයකින් අවසන් විය. එහෙත් මේ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට පරාජයේ සටහනක් නොව, බලාපොරොත්තුව යළි උපන් තරගාවලියක් විය.

වසර ගණනාවක් ජාත්‍යන්තර වේදිකාවේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර සිය කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් 2028 වසරේ පාකිස්තානයේ පැවැත්වෙන මීළඟ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලානය සඳහා සෘජු සුදුසුකම්ද තහවුරු කර ගත්තාය. එය හුදෙක් සුදුසුකමක් නොව, නිවැරදි දිශාවට තැබූ ශක්තිමත් පියවරකි.

තරගාවලිය දෙස ආපසු හැරී බලන විට, බ්‍රිස්ටල්හි පැවැති බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගය ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන වෙනස් කළ මොහොත බව පැහැදිලි වේ. පෙරවරු තරගයක් ලෙසින් කොළ පැහැති තණතීරුවේ කාසියේ වාසිය අහිමි වීමත් සමඟ පළමුව පිතිකරණයට පිවිසිමට සිදුවූ ශ්‍රී ලංකාවට ආරම්භයේදීම කඩුලු තුනක් අහිමි විය. එම පීඩනයෙන් මිදීමට නොහැකි වූ ශ්‍රී ලංකාවට අවසානයේ පරාජය භාරගැනීමට සිදු වූ අතර එම තරගයම අර්ධ අවසන් වටයේ දොරටුව වැසූ තරගය බවට පත් විය.

එම පරාජයෙන් පසුව නායිකා චමරි අතපත්තුගේ හැඟීම්බර ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේය. තම ක්‍රිකට් දිවියේ ලෝක කුසලාන අර්ධ අවසන් වටයකට පිවිසීමේ හොඳම අවස්ථාව එම පරාජයත් සමඟ අහිමි වූ බව ඇය පිළිගත්තාය. කෙසේ වෙතත් නායිකාවක් ලෙස ඇය සියලු වගකීම් ඉටු කළාය. අයර්ලන්තයට එරෙහිව වාර්තා කළ අතිවිශිෂ්ට ශතකය පමණක් නොව තරගාවලිය පුරාම කණ්ඩායම ඉදිරියෙන් සිටිමින් මෙහෙයවූ ආකාරය ඇයගේ නායකත්වයේ වටිනාකම තවත් තහවුරු කළාය.

නවසීලන්තය වැනි ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සටහන් වනු ඇත. එම ජයග්‍රහණයත් සමඟ කණ්ඩායම තුළ ඇති වූ විශ්වාසය ඉතා පැහැදිලිව දක්නට ලැබිණි. ඒ නිසාම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගය තවමත් වේදනාවක් බවට පත්ව තිබේ.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හඳුන්වා දුන් වටිනාම ක්‍රීඩිකාව ලෙස නිලක්ෂිකා සිල්වාගේ නම නොඅනුමානව ඉදිරියට පැමිණේ. නවසීලන්තයට සහ ස්කොට්ලන්තයට එරෙහි තීරණාත්මක අවස්ථාවල නොදැවී ඉනිම් ගොඩනඟමින් ඇය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය. පන්දු රැකීමේදීද ඇය දැක්වූ දක්ෂතා ලෝක මට්ටමේ ඒවා විය. එහෙත් තරගාවලිය පුරාම අනෙකුත් පන්දු රකින්නියන් අතින් ගිලිහුණු උඩපන්දු සහ අවස්ථා කිහිපයක් ශ්‍රී ලංකාවට දැඩි අවාසියක් වූ බවද පිළිගත යුතුය.

කවීෂා දිල්හාරිද මෙම තරගාවලියේ කැපී පෙනුණු චරිතයකි. දඟ පන්දු යැවීමේ විවිධත්වය, පිත්තෙන් ලබාදුන් වටිනා දායකත්වය සහ පන්දු රැකීමේදී රැකගත් විශ්මිත උඩපන්දු සමඟ ඇය සැබෑ තුන් ඉරියව් ක්‍රීඩිකාවකගේ භූමිකාව අතිශයින් සාර්ථක ලෙස ඉටු කළාය. ඒ අතරම මිතාලි අයෝධ්‍යාගේ වේග පන්දු යැවීම සහ කෞෂානි නුත්‍යංගනාගේ කඩුලු රැකීමේ දක්ෂතාද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය පිළිබඳ සුබවාදී සංඥා රැසක් ඉතිරි කළේය.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගෙන් බලාපොරොත්තු වූ දායකත්වය නොලැබීම ශ්‍රී ලංකාවට අවාසියක් විය. හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අසමත් වූ අතර විශ්මිට තරගාවලිය අතරතුරම අවසන් එකොළොස් දෙනාගෙන් ඉවත් වීමටද සිදුවිය.

මෙම තරගාවලියේදී අර්ධ අවසන් වටයට පිවිසීමේ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වුවද දිනාගත් සැබෑ ජයග්‍රහණය වන්නේ අනාගතය පිළිබඳ ඇති කළ විශ්වාසයයි. පසුගිය ලෝක කුසලාන තරගාවලි අවසන් වූයේ බලාපොරොත්තු බිඳවැටුණු හැඟීමක් සමඟ වුවද මෙවර තරගාවලිය නිමාවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම් සමඟ කරට කර සටන් කළ හැකි බව ඔප්පු කරමිනි. එය ප්‍රතිඵලවලට වඩා වටිනා පණිවිඩයකි.

අර්ධ අවසන් වටය මෙවර මඟහැරුණද, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් පිටියේ තම අනන්‍යතාවය යළි ගොඩනඟමින් සිටින බව මෙම තරගාවලියෙන් පැහැදිලි විය. එබැවින් ඉදිරි වසර කිහිපයේ ඉලක්කය විය යුත්තේ 2028 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම පමණක් නොව, එහි සැබෑ ශූරතා අපේක්ෂකයකු ලෙස තරග වදින මට්ටමට මෙම කණ්ඩායම රැගෙන යාමයි. එවැනි අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට තිබීමම මෙම තරගාවලියේ විශාලතම ජයග්‍රහණය ලෙස සැලකිය හැකිය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee