slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2019
ලෝක කුසලානෙට පෙර සූදානම් වීමේ අදහසින් යොවුන් පිල හෙට බංග්ලාදේශයට

Sri Lanka Cricket

By Chamila Karawita

අවුරුදු19 න් පහළ ලෝක කුසලානයේ එළිපත්තටම පිවිස සිටින අවස්ථාවක නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තවත් තීරණාත්මක තරගාවලියකට සහභාගිවීම සඳහා හෙට (23 දා) බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇත. බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සහ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ඉදිරි ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස යොදා ගැනීම කණ්ඩායම් කළමනාකාරීත්වයේ අරමුණ වී තිබේ.

ඒ වෙනුවෙන් දිගු කාලීන මෙන්ම කෙටි කාලීන වශයෙන් සැලසුම් සකස් කර ඇති යොවුන් ක්‍රිකට් කළමනාකාරීත්වය එය බංග්ලාදේශය සමඟ ලබන 26 වැනිදා සිට ආරම්භ වන සිව් දින ටෙස්ට් තරගාවලියේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු වන හෂාන් තිලකරත්න මහතා පවසන්නේ, ලෝක කුසලාන දිනා ගැනීම වෙනුවෙන් දියත් කරන ලද දීර්ඝ කාලීන සැලසුමක පළමු පියවර වශයෙන් වයස අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩකයින් පස් දෙනෙකු මෙම බංග්ලාදේශ තරග සංචාරයට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි.

“අපි මේ වර්ල්ඩ් කප් එක වගේම 2022 වසරේ තියෙන වර්ල් කප් එකත් ඉතාම වැදගත්. ඒක නිසා අපි මේ තරගාවලියට වයස අවුරුදු 17 න් පහළ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පස් දෙනෙකු නම් කරලා තියෙනවා. එහි සිව් දෙනෙක් ටෙස්ට් තරගාවලියත් එක් අයෙක් එක්දින තරගාවලියටත් ඇතුළත් කරලා තියෙනවා” යි පවසන තිලකරත්න මහතා, “මේකට ලොකුම හේතුව තමයි ක්‍රීඩකයින්ට වැඩි වශයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමේ අරමුණ. ඒ සඳහා කාලයක් අපිත් එක්ක වැඩ කරපු සහ ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් කීප දෙනෙකු මේ කණ්ඩායමට ඇතුළත් කරන්න කටයුතු කළා. ඇත්තටම තරග ජයග්‍රහණය කරනවා වගේම ක්‍රීඩකයන්ව සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔවුන්ට ජාත්‍යන්තර තරග අවස්ථා ලබාදීම අත්‍යවශ්‍යයි. ඒ පැත්ත බලලා තමයි අපි මේ ක්‍රීඩකයින්ව මේ තරගාවලියට අරගෙන යන්නේ. අරන් යන්නෙත් ඊළඟ වර්ල්ඩ් කප් එක නියෝජනය කරන්න පුළුවන් කියලා විශ්වාසය අපි තුළ තියෙන ක්‍රීඩකයින්”යැයි සිය දිගු කාලීන සැලසුම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූවේය.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 2 ක් නම් කිරීමට ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන අතර එම කණ්ඩායම් 2 ම නායකයා ලෙසින් නිපුන් ධනංජය කටයුතු කරනු ඇත. නම් කරන ලද ටෙස්ට් කණ්ඩායමට චමිඳු වික්‍රමසිංහ, රවීන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ වයස අවුරුදු 17 සීමාව නියෝජනය කරමින් ඇතුළත්ව සිටින අතර යසුරු රුදිගෝ එක්දින තරග අංශයට ඇතුළත්ව සිටියි.

තරගාවලියට පිටත්ව යෑමට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ආගමික වතාවත් වලට අද (22 දා) සහභාගිවුණු ශ්‍රී ලංකා යොවුන් පිල නිල ඡායාරූපයටද පෙනී සිටියේය. ඒ අතරතුර පැවැතී මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි හෂාන් තිලකරත්න මහතා, තව මාස 4 ක පමණ කාලයකින් පසු ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය සඳහා වූ කෙටි කාලීන සැලසුම් පිළිබඳවද අදහස් දක්වා සිටියේය.

මීළඟ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 2020 වසරේ පෙබරවාරි මසදී  දකුණු අප්‍රිකාවේ ආරම්භ වන අතර එම තරගාවලියට පෙර ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් හි සංචාරයකද නිරත වීමට නියමිතය. යොවුන් කණ්ඩායමේ පුහුණුකරුවා පවසා සිටින්නේ එම තරගාවලියේදී තිරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන දකුණු අප්‍රිකානු තණතීරු සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් තමන් ඇතුළු කළමනාකාරීත්වයට සැලසුමක් තිබෙන බවයි.

“නොවැම්බර් ඉඳලා පෙබරවාරි වෙනකම් කාලය ඇතුළත දකුණු අප්‍රිකාව තුළ තණතීරු හැසිරෙන්නෙ කොහොමද කියන එක ගැන අපි වාර්තාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.  සමහර වෙලාවට හිතෙනවා ඒ තණථීරු වේග පන්දු යවන්නන්ට උචිතයි කියලා. ඒත් ජනවාරි පෙබරවාරි වෙනකොට ඒ තණතීරු දඟ කැවෙනවා. 2003 වසරේදී මම ක්‍රීඩා කළ ලෝක කුසලානයේදීත් විකට් දඟ කැවුණා. ඒ අනුව මේ වාර්තාවට අනුව වේග පන්දු යවන්නන්ද දඟ පන්දු යවන්නන්ද කඩුලු අරගෙන තියෙන්නේ කියලා අපිට දැන ගන්න පුළුවන්” යි පැවැසීය.

“එතැනදි අපි මේ අවුරුද්දේ විතරක් නොවෙයි අන්තිම අවුරුදු 3 දී එහෙ පැවැත්වුණු ජාත්‍යන්තර සහ දේශීය කියන සියළුම තරගවලදී කඩුලු හැසිරෙන ආකාරය පිළිබඳව වාර්තාවට ඇතුළත් කරගන්නවා. එතැනදී තණතීරුවේ හැසිරීමට අමතරව වඩා වාසි මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමටද නැත්නම් දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායමටද කියන එක ගැනත් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සියළු දේ භාවිතා කරමින් අපි සකස් කරන ලද වාර්තාවක් තේරීම් කමිටුවට ලබා දෙනවා. ඊට පස්සේ අපිට හරිම සංයුතිය ලෝක කුසලාන තරගාවලිය රැගෙන යෑමේ අවස්ථාව උදා වෙනවා”යිද ඒ පිළිබඳව තිලකරත්න මහතා වැඩිදුරටත් සිය කෙටි කාලීන සැලසුම පිළිබඳව විග්‍රහ කර සිටියේය.

මේ අතර මෙම තරගාවලියට පෙර පැවැති වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියටද ශ්‍රී ලංකා යොවුන් පිලට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබීය. එම තරගාවලියේදී යොවුන් ක්‍රීඩකයින් විසින් අනුශුරතාවට පත් ඩිමෝ ආයතනයට එරෙහිව මූලික වටයේදී ජය වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. ඊට අමතරව එල්. බී. ෆිනෑන්ස් සහ සම්පත් බැංකු කණ්ඩායම් සමඟ පැවැති තරගවලදීද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට යොවුන් ක්‍රීඩකයින් සමත්වූ නමුත් වර්ෂාවේ අවාසිය යොවුන් ක්‍රීඩකයින්ගේ අවාසියට හේතු විය.

“ඇත්තටම එවැනි අවස්ථාවක් මේ ක්‍රීඩකයින්ට ලැබීම ඉතාමත් හොඳ දෙයක්. ඒ තරගාවලියේදී ඔවුන්ට ලැබුණු අත්දැකීම් ලේසි පහසු දෙයක් නොවෙයි. ඔවුන්ට ඒ හරහා ජාත්‍යන්තර තලය නියෝජනය කරන ක්‍රීඩකයින් එක්ක ක්‍රීඩා කරන්න ලැබුණා පමණක් නොවෙයි, ඔවුන් එක්ක කතා කරන්න, ඔවුන්ගේ කඩුලු දවා ගන්න වගේම හොඳ පන්දු යවන්නන්ට එරෙහිව පන්දුවට පහර දෙන්නත් අවස්ථාව උදා වුණා. ඒ අත්දැකීම් කුඩා ක්‍රීඩකයින්ට ඉතාමත් වැදගත්”.

“මම මුලින් කිව්වා වගේ මේ අවස්ථාව මගේ ක්‍රීඩකයින්ට ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයටත් ස්තූතිවන්ත වෙනවා. මම ක්‍රීඩකයින් එක්ක කතා කරනකොට ඔවුන් කිව්වේ මේ ලැබුණු අවස්ථාව ඔවුන්ට ගොඩක් වටින බවයි. මම දකින විදියට ඒ තරගාවලියේදී ක්‍රීඩා කරපු තරග 3 න් මාස 6 කට වැඩි අතැද්කීමක් ලැබුණා කියලා”යි තිලරක්තන මහතා අදහස් දක්වා සිටියේය.

මේ අතර කණ්ඩායම් නායක නිපුන් ධනංජයද අදහස් දක්වමින් පවසා සිටියේ මෙම තරගාවලිය සඳහා කරන ලද සියළු පුහුණු කටයුතු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඉලක්ක කරගනිමින් සිදුකළ බවයි. “අපි පුහුණුවීම්වලදි ගොඩක්ම තණකොලත් එක්ක තමයි ක්‍රීඩා කළේ. මොකද හැමෝගෙම අධිෂ්ඨානය ලෝක කුසලාන තරගාවලිය. එහෙම පුහුණුවීම් සිදු කරද්දී දකුණු අප්‍රිකානු තණතීරුවල ක්‍රීඩා කළ යුතු ආකාරය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. මොකද ඒ තණතීරුත් තියෙනවා  තණකොළ තිබුණට දඟ පන්දු යවන්නන්ටත් සහයෝගය දක්වන. ඒ ඔක්කොම සලකලා බලල තමයි අපි අපේ පුහුණුවීම් සිදු කළේ”යැයි පවසා සිටියේය.

නම් කරන ලද කණ්ඩායම් අතරට ක්‍රීඩකයින් 8 දෙනෙකු ටෙස්ට් සහ එක්දින දෙඅංශයටම ඇතුළත්ව සිටින අතර, අභිෂේක් කහදුවාරච්චි, රවිඳු රසාන්ත, සොනාල් දිනූෂ, චිහාන් කළිඳු, ඩිල්ෂාන් මධුශංක, චමිඳු විජේසිංහ සහ අම්ෂි ද සිල්වා කණ්ඩායම් ද්විත්වය නියෝජනය කිරීමට වරම් ලබා ඇති ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතාද කණ්ඩායම් කළමනාකරු ලෙස ෆර්වේස් මහරූෆ්ද කටයුතු කරන මෙම තරගාවලියේ පළමු තරගය ලබන 26 වැනිදා සිට 29 වැනිදා දක්වා බරිසාල්හිදී ආරම්භ වන අතර දෙවැනි තරගය නොවැම්බර් 02 වැනිදා සිට 05 වැනිදා දක්වා කුල්නාහිදීද පැවැත්වෙනු ඇත. දෙරට අතර ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන නොවැම්බර් 09 වැනිදා කුල්නාහිදී ආරම්භ වන අතර එම තරග සියල්ලම කුල්නාහිදී පැවැත්වීම කැපී පෙනෙයි.

ටෙස්ට් කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), චමිඳු වික්‍රමසිංහ, අභිෂේක් කහදුවාරච්චි, රවිඳු රසාන්ත, සොනාල් දිනූෂ, චිහාන් කලිඳු, ලක්ෂාන් ගමගේ, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, අවිශ්ක ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, චමිඳු විජේසිංහ, රුවින් පීරිස්, අම්ෂී  ද සිල්වා, අවිශ්ක පෙරේරා, මතීෂ පතිරණ.

එක්දින කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), නවෝද් පරණවිතාන, මොහොමඩ් සමාෂ්, අභිෂේක් කහදුවාරච්චි, රවිඳු රසාන්ත, අවිෂ්ක තරිඳු, චමිඳු විජේසිංහ, රොහාන් සංජය, කවිඳු නදීශාන්, යසුරු රුද්‍රගෝ, ඩිල්ෂාන් මධුශංක, චිහාන් කලිඳු, අම්ෂී ද සිල්වා, සඳුන් මෙන්ඩිස්, සුධීර තිලකරත්න, සොනාල් දිනූෂ.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar