slc
logo
Home   |    News
ඔක්තෝබර් 6, 2019
වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාව හමුවේ පාකිස්තානය පරදියි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Lahore

වසර 12 කට ආසන්න කාලයකට පසු සිය රටේ පැවැත්වෙන විස්සයි-20 තරගාවලියක ජයග්‍රහණය නැරඹීමට පැමිණි 25,000 කට අධික පාකිස්තානු ප්‍රේක්ෂකයින්ගේ සියළු බලාපොරොත්තු බිඳ දැමූ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම පාකිස්තානයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 64 ක විශිෂ්ඨ ජයක් අද (05 දා) වාර්තා කළහ. එම ජයග්‍රහණයත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

ශීත කාලගුණික තත්ත්වයක් යටතේ පින්නෙන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමු කරමින් කාසියේ වාසිය දිනා පාකිස්තානය හඹා යෑම තෝරා ගත්තද ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ රකින්නෝ පාකිස්තානු ඉනිම පන්දුවාර 17.4 කදී ලකුණු 101 කට සීමා කළහ. ලකුණු 166 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු කණ්ඩායමේ ආරම්භයම සුණු විසුණු කළ දැමූ ප්‍රධානම පන්දු යවන්නන් බවට පත්වූ නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන තරගයේදී කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

දෙවැනි පන්දුවාරයේදී පස්වැනි පන්දුවේදී බාබර් අසාම්වද ඊළඟ පන්දුවේදී උමර් අක්මාල්වද දවා ගත් නුවන් ප්‍රදීප් කලක් තිස්සේ ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් පසු වූ ඒ සුවිශේෂී ජයග්‍රහණයට මූලික අඩිතාලම එක් කළේය. මෙහිදී අසාම් දවා ගැනීම වෙනුවෙන් සිය මංගල විස්සයි-20 තරගයට සහභාගිවෙමින් කඩුලු රැකි ක්‍රීඩක මිනෝද් භානුක රැක ගන්නා ලද උඩ පන්දුව විශිෂ්ඨ ගනයේ විය.

18 වැනි පන්දුවාරයේ තෙවැනි සහ සිව්වැනි පන්දු  යැවූ ඉසුරු උදාන විසින් ශාදාබ් ඛාන් සහ මොහොමඩ් අමීර්ගේ කඩුලු පිට පිටව දවා ගැනීම මත පාකිස්තානු ඉනිම හමාර වද්දී ශ්‍රී ලංකා ජයග්‍රහණය සටහන් වූයේ විස්සයි-20 තරගයකදී පාකිස්තානයට එරෙහිව ලද දැවැන්තම ජයග්‍රහණය ලෙසිනි. එමෙන්ම පාකිස්තානයට එරෙහිව තරග 6 කට පසු සහ වසර 6 කටු පසු ලද පළමු ජයග්‍රහණය ලෙසින්ද මෙම ජයග්‍රහණය සනිටුහන් විය.

ඉසුරු උදාන දවා ගන්නා ලද කඩුලු 2 ත් සමඟ අවසන් කඩුලු 4 ම ලකුණු 15 ක් තුළ බිඳ වැටුණි. දැවී ගිය එම කඩුලු 4 න් 3 කට උඩපන්දු රැකීමෙන් දායකත්වය දැක්වූ ධනුෂ්ක ගුණතිලක තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

19 වැනි පන්දුවාරයේ පළමු සහ දෙවැනි පන්දු දෙකේදී නායක දසුන් ශාන්ක සහ ෂෙහාන් ජයසූරියව පිටියන් ඉවත් කිරීමට මොහොමඩ් හස්නෙයින් සමත්වීම නිසා මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අහිමි විය. ඩීප් මිඩ් විකට්හි පන්දු රැකී උමර් අක්මාල් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දසුන් ශානක ලකුණු 17 කටද ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රැකී අහමඩ් ශේෂාඩ් උඩ පන්දුවක් රැක ගැනීම මත ෂෙහාන් ජයසූරිය ලකුණු 02 කටද දැවී ගියහ.

පිට පිට දවා ගන්නා ලද මෙම කඩුලු 2 ට ප්‍රථම යවන ලද අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවටද කඩුල්ලක් දවා ගැනීමට සමත්වී සිටීම නිසා කඩුලු ත්‍රිත්වයක්  ලබා ගැනීමට තරම් හස්නේන් වාසනාවන්ත විය. තවමත් අවුරුදු 19 කුත් දින 183 ක් වයසැති, පැයට කිලෝ මීටර 150 කට වේගයකින් පන්දු යැවිය හැකි මේ පන්දු යවන්නා ලොව ළාබාලතම විස්සයි-20 කඩුලු ත්‍රිත්ව ලාභියාගේ වාර්තාවටද අද හිමිකම් කීවේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ය. අයර්ලන්ත පිලට එරෙහිව ඔහු මෙම වසරේදී එම දක්ෂතාවය දක්වන විට 20 වැනි වියේ පසුවිය.

විස්සයි-20 තරග අංශයෙහි ලොව කඩුලු ත්‍රිත්ව ලබා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 09 වැන්නා බවට පත්වූ හස්නේන්ගේ පන්දු යැවීම පන්දුවාර 4 දී ලකුණු 37 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය. පවර් ප්ලේ අවස්ථාවේදී කඩුලු ආරක්ෂා කරගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ එම පන්දුවාර 6 ඇතුළත හස්නේන්ව දැඩි ප්‍රහාරයකට ලක් කළේය. එම පවර් ප්ලේ අවස්ථාවේදී ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 64 ක් එක් කළ අතර ඉන් 16 ක්ම හස්නේන්ගේ පළමු පන්දුවාරයට එරෙහිව ලබා ගත් ඒවාය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 57 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක පිටියෙන් ඉවත් න විට මුලු ලකුණු සංඛ්‍යාව 84 ක් ලෙසින් සටහන් විය. දුර්වල පන්දු හමුවේ වැරෙන් පහර එල්ල කළ ධනුෂ්ක අසීරු පන්දු වලදී පන්දු රකින්නන් නොමැති ස්ථාන කරා පන්දුව යොමු කරමින් සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කරගත්තෙක්ය. අවසන් එක්දින තරගයේදී දෙවැනි ශතකය ලබා ගත් ධනුෂ්ක අද ලබා ගන්නා ලද්දේ විස්සයි-20 තරග දිවියේ දෙවැනි අර්ධ ශතකයයි.

සිය මංගල විස්සයි-20 තරගයට සහභාගි වූ භාන්ක රාජපක්ෂ පන්දු 22 කදී ලකුණු 32 ක් ලබා ගත්තේ සිය ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් කර ගනිමිනි. මොහොමඩ් හස්නේන් ලද කඩුලු ත්‍රිත්වයේ පළමු ගොදුර ලෙසින් භානුක දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. කොළඹ රාජකීය විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ 27 හැවිරිදි භානුක දේශීය ක්‍රීඩා සමාජ තරගාවලිය යටතේ එස්. එස්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන්නේය.

ඉනිමේ සාර්ථකම කඩුලු සම්බන්ධතාවය වූ ආරම්භක කඩුල්ලේ ලකුණු 84 ක සම්බන්ධතාවේදී ධනුෂ්ක ලකුණු 57 කින් දායකත්වය දක්වද්දී අවිශ්ක ප්‍රනාන්දු දායකත්වය ලකුණු 16 ක් විය. තරමක් උදාසීනත්වයකින් යුතුව පන්දුවට පහර දුන් අවිශ්ක, ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි පිතිකරුවා ලෙසින් දැවී යන විට පන්දු 34 කදී ලකුණු 33 ක් පමණක් ලබා ගත්තේය.

භානුක රාජපක්ෂට අමතරව අද තරගයේදී මිනෝද් භානුකද ජාත්‍යන්තර විස්සයි-20 තරග වරම් දිනා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග වරම් දිනා ගත් 82 වැනි සහ 83 වැනි ක්‍රීඩකයින් බවට පත් වුණු භානුකලා අතරින් මිනෝද්, මීට පෙර පැවැති එක්දින තරගයේදී එක්දින වරම්ද දිනා ගැනීමට සමත්වූවේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest