slc
Home   |    News
ඔක්තෝබර් 26, 2019
ශ්‍රී ලංකා නැගී එන කාන්තා පිල ඉන්දියාව හමුවේ පසුපසියි

Sri Lanka Cricket

දින ගණනාවක් තිස්සේ වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි වූ කාන්තා නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (26 දා) පැවැති පළමු තරගයේදීම ඉන්දීය කාන්තා පිල හමුවේ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා නැගී එන පිල ලකුණු 32 ක පරාජයක් ලැබීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයටද වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් පන්දුවාර 39 ක තරගයක් ලෙසින් පැවැත්වීමට විනිසුරුවරුවෝ කටයුතු යෙදූහ. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දී ඉන්දීය කාන්තා පිල ලබා දුන් ලකුණු 172 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය හර්ෂිතා මාධවීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම පන්දුවාර 36.3 කදී ලකුණු 139 කට සීමා කළ කරමින් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා වැඩි ඉඩ කඩක් වෙන්කර ගත්තේය.

අදාළ හඹා යෑමේදී නායිකා හර්ෂිතා මාධවී සිය වගකීම් කොටස ඉටු කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට අසීරු උත්සාහයක් ගත්තේය. අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි හර්ෂිතා දෙවැනි, තෙවැනි සහ සිව්වැනි කඩුලු වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 34, 36 සහ 31 ක වශයෙන් ලකුණු සම්බන්ධතා පැවැත්වීමට සමත් වුවත්, සුශ්‍රී දිබ්‍යාදර්ශනී විසින් හසිනි පෙරේරා (21) සහ උමේෂා තිමාෂානිව (22) දවා ගැනීමට සමත්වීම නිසා එතෙක් වෙලා දෙපිළටම විවෘතව තිබූ තරගයේ වාසිය ඉන්දීය කණ්ඩායම වෙත දෝලනය වන්නට විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ නායිකා හර්ෂිතාට සෙසු පිතිකාරිණියන්ගෙන් ලැබිය යුතු දායකත්වය අවම වීම තරග පරාජයට සෘජු බලපෑමක් එල්ල කළේය. පන්දු 93 කට මුහුණ දුන් හර්ෂිතා ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පිතිකාරිණිය ලෙසින් දැවී යන විට ලකුණු 55 ක් රැස් කරගෙන සිටියේය. මෙය ඇයගේ නැගී එන තරග දිවියේ වාර්තා කරන ලද පළමු අර්ධ ශතකය බවට පත්විය.

එම හඹා යෑමේදී පළමු පන්දුවාර 20 ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පිලට වඩා තරමක් ඉදිරියෙන් සිටියද තෙවැනි කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමඟ පන්දුවට පහර දුන් උමේෂි තිමාෂානී පන්දු 57 කදී ලකුණු 36 ක් ගොඩ නගමින් ශ්‍රී ලංකා පිල ජය කණුව වෙත සෙමෙන් රැගෙන ගියහ.

29 වැනි පන්දුවාරය වන විට කඩුලු 3 කට ලකුණු 104 ක් වශයෙන් ශ්‍රී ලංකා පිල ප්‍රබල ස්ථානයක පසු වුවද තරගයේ වීරයා සම්මානයට පාත්‍ර ටී.පී. කන්වාර් විසින් ඉමල්කා මෙන්ඩිස්වද නැවතත් 32 වැනි පන්දුවාරයේදී මධුෂිකා මෙත්තානන්ද සහ සත්‍යා සන්දීපනීගේ කඩුලු දවා ගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාව යළි හිස එසවීමට නොහැකි විය. එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6 දැවී යෑමට ගත වූයේ පන්දු 32 ක් පමණි.

ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 39 තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් රැස් කිරීමට සමත්විය. එහිදී කැපී පෙනුණු නායිකා දේවිකා විද්‍යා ලකුණු 43 ක් ලබා ගත්තාය. ඇයට අමතරව පසු පෙළින් පන්දුවට පහර දුන් තේජල් හසබ්නිස් නොදැවී ලකුණු 37 ක්ද මිනූ මානි ලකුණු 21 ක්ද ලබා ඉන්දීය පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පන්දු යැවීම අතින් කැපී පෙනුණේ කඩුලු 2 ක් දවා ගත් සත්‍යා සංදීපනී පමණි. ඇය පන්දුවාර 8 ක් යවමින් ලකුණු 26 ක් පමණක් ලබා දෙමින් ඉන්දීය පිතිකාරිණියන්ව මෙල්ල කර දැමීමට සමත් වුවද සෙසු පන්දු යවන්නියන්ගේ පන්දු වල නියමිත එල්ලය සහ පතිත කිරීම යහපත් තත්ත්වයක නොතිබීම ද ශ්‍රී ලංකා පිලට දැඩි පාඩුවක් විය.

මෙම තරගායවලිය යටතේ ශ්‍රී ලංකාව තරග වදින මීළඟ තරගය හෙට (27 දා) බංග්ලාදේශ කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest