slc
Home   |    News
ඔක්තෝබර් 7, 2019
ශ්‍රී ලංකා පිලේ දක්ෂතා ගැන මිස්බා උල්හක්ගෙන් වර්ණනාවක්

Sri Lanka Cricket

සත්කාරක පාකිස්තානු පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකාව වාර්තා කර ගන්නා ලද ලකුණු 64 ක ජයග්‍රහණයත් සමඟ පාකිස්තානු කිසියම් කම්පනයකට ලක්ව සිටියි. ජ්‍යෙෂ්ටයින් රහිතව පාකිස්තානයට පැමිණි තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල හමුවේ පාකිස්තානය පරාජයට පත් වීම එකී තත්ත්වය දෙගුණ, තෙගුණ කරවන්නට තරම් හේතු කාරණා වී තිබේ.

ක්‍රීඩකයින් කීප දෙනෙකු හැරුණු කොට සෙසු ක්‍රීඩකයන් බහුතරයක් අත්දැකීම් අතින් සිටින්නේ පාකිස්තානු පිලට වඩා බොහෝ ඈතිනි. එහෙත් තරුණ ජවය හා ගැටීමේදී අත්දැකීම් සහිත පාකිස්තානුවන් ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් පිළිබඳව පාකිස්තානු කලමනාකාරීත්වය වෙන් වෙන්ව අවධානය යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන මිස්බා උල්හක් පවා පවසා සිටින්නේ විශේෂත්වයක් දක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර වැඩිම අවධානයක් ධනුෂ්ක ගුණතිලක වෙත යොමු කර තිබෙන බවයි.

“ධනුෂ්ක ගුණතිලක තමයි 80% ක් 90% ත් අතර ප්‍රමාණයකින් අපිට හොඳන්ම පන්දුවට පහර දෙන්නේ. ඒක නිසා ඔහු ගැන තමයි අපි මූලිකවම අවධානය යොමු කරලා තියෙන්නේ. එක්දින තරගාවලියේ සිට ඔහු අපිට එරෙහිව හොඳින් පන්දුවට පහර දුන්නා”යි පවසන පාකිස්තානු ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාගේ වගකීමද ඉටු කරන මිස්බා උල්හක්, “ශ්‍රී ලංකාවත් එක්ක ක්‍රීඩා කරද්දී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. අපි ඒ දේවල් බලාපොරොත්තුවෙන් තමයි ක්‍රීඩා කරන්න ඕන. කළින් මෙහෙම අපිට හොඳින් පන්දුවට පහර දුන්නේ (කුමාර්) සංගක්කාර. දැන් (ධනුෂ්ක) ගුණතිලක” යි ද සිනහමුසු අයුරින් පවසා සිටියේය.

තෙවැනි එක්දින තරගයේදී ලකුණු 133 ක් ලබමින් පිතිකරුවකු ලෙස ඉදිරියට පැමිණි ගුණතිලක දෙරට අතර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරගයේදී පන්දු 38 කදී වේගවත් ලකුණු 57 ක් ලබමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සඳහා මූලික අත්තිවාරම එක් කළේය. ගුණතිලකගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හමුවේ පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දු වාර 6 ඇතුළත ලකුණු 64 ක් රැස් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවූයේ එකම කඩුල්ලක් හෝ ප්‍රතිවාදීන් හමුවේ ලබා නොදෙමිනි.

පවර් ප්ලේ අවස්ථාවේදී එවන් වාසියක් ලබාදීමට පිතිකරුවන් සමත් වද්දී පන්දු යවන්නෝද සිය දායකත්වය ලබා දුන්නේ පාකිස්තානයට හිමි පවර් ප්ලේ අවස්ථාවේදී ලකුණු 30 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් දවා ගනිමිනි. මෙම තරගයේදී පාකිස්තානු පිලට බසුබැසීමට සිදුවූ ප්‍රධානම හේතුවක් ලෙස පවර් ප්ලේ අවස්ථාව හඳුන්වා දිය හැකි බවද මෙහිදී මිස්බා අවධාරණය කළේය.

“සංඛ්‍යා දත්ත වලින් බැළුවත් විස්සයි-20 තරග අංශයේ ප්‍රතිඵලය 80% ක්ම රඳා පවතින්නේ පවර් ප්ලේ අවස්ථාවේදී ක්‍රීඩා කරන විලාශය අනුවයි. ඔබ මුලින් පන්දු යැව්වත් පන්දුවට පහර දුන්නත් පළමු පන්දුවාර 6 ඉතාමත් වදැගත්” යි මිස්බා පවසයි.

දෙවැනි තරගයට පෙර පාකිස්තානු පිලේ සූදානම පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි හිටපු පාකිස්තානු ටෙස්ට් නායකයා, “ඔබ පවර් ප්ලේ අවස්ථාවේදී හොඳට කළොත් තරගය ජය ගැනීමේ 80% ක අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමේදී ඒ අවස්ථාවෙන් අපි නිසි ප්‍රයෝජන ගන්න හැකියාවක් ලැබුණේ නෑ. කොහොම වුණත් එන තරගයේදී ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි බලාපොරොත්තු වෙනවා”යි වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමද ඉතා ඉහළ මට්ටමක පැවැති අතර ඒ පිළිබඳව පාකිස්තානු පුහුණුකරුවා ඉතා ඉහළ වර්ණනාවක් ලබා දුන්නේය. “ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ දඟ පන්දු යවන්නන් දෙදෙනා ඉතාම හොඳින් පන්දු යැව්වා. මැණික් කටුව භාවිතයෙන් පන්දු යැවූ ඔවුන් විශේෂයෙන්ම තෙත බරිත පන්දුවෙන් වුවත් ඉතාම හොඳින් පන්දු යැව්වා. ඒ රාත්‍රියේදී ඔවුන් දෙදෙනා පන්දු යැවූ ආකාරය සැබැවින්ම පුදුමය දනවන්නක්”යි පවසන මිස්බා “පන්දු යැවීමට අසීරු තණතීරුවේදී වේග පන්දු යවන්නන්ගේ පන්දු යැවීමත් අති විශිෂ්ඨ තලයක පැවැතුණා. තරගයේ සමස්ථයක් ගත් විට මේ කණ්ඩායම හොඳ දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වෙනවා”යි වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම තරගයේදී දඟ පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කරන ලද වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් සිය පන්දුවාර 4 ඇතුළතදී ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ ලකුණු 20ක් සහ 24 ක් බැගිනි. විස්සයි-20 තරගයකදී පන්දු යැවීමේදී ලකුණු ලබා ගැනීමේ වේගය 6 ට වඩා අඩුවෙන් තබා ගැනීම යනු අති දුෂ්කර කාර්යයත් වුවත් ඉතා කල්පනාකාරී ලෙසින් පන්දු යැවූ මොවුන් දෙදෙනා පාකිස්තානු පිතිකරුවන් ඇඳ බැඳ තබා ගත්හ. මෙහිදී වනිඳු හසරංගගේ නම ඉදිරියෙන් කඩුලු 2 ක් සටහන් වුවද කඩුලු නොමැති සඳකැන්ගේ පන්දු යැවීමද ශ්‍රී ලංකා ජයග්‍රහණයට මනා පිටිවහලක් විය.

මොවුන්ට අමතරව වේග පන්දු යැවීමෙන් කැපී පෙනුණු නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන ප්‍රතිවාදීන්ගේ කඩුලු 6 ක් සම සමව බෙදා ගනිද්දී කසුන් රජිත එක් කඩුල්ලක් දවාගත්තේය. නුවන් ප්‍රදීප් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 3 දී ලකුණු 21 ක් ලබා දුන්නද අවශ්‍යම පිතිකරුවන් වූ බාබර් අසාම් සහ උමර් අක්මාල්ව පිට පිට පන්දු 2 කදී දවා ගනිමින් තම කණ්ඩායමේ සාමාජිකයින්ට ඉහළ මානසිකත්වයකට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දුන්නේය. ඒ අනුව යමින් ඵල නෙළා ගත් ඉසුරු උදාන  ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 2 කුත් පන්දු 4 දී ලකුණු 11 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් බිඳ හෙළීය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය අද (07 දා) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest