slc
logo
Home   |    News
ඔක්තෝබර් 3, 2019
සුළු අඩුපාඩු ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වළකයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi

පිතිකරුවන් සිය වගකීම ඉටු කළද පන්දු යැවීමේදී සහ රැකීමේදී දැක්වූ සුළු සුළු දුර්වලතාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව පැවැති තෙවැනි තරගයෙන් කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) සිදුවිය. සමස්ථයක් ලෙස ගත් විට මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සත්කාරකයින්ට සැලකිය යුතු මට්ටමේ තරගකාරීත්වයක් පෙන්නුම් කළත් ඉහත කී සුළු සුළු අඩුපාඩු මනා ලෙස ප්‍රයෝජනයට ගත් සෆ්‍රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තානු පිල වසර 10 කට පසු පැවැති එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කළහ.

ධනුෂ්ක ගුණතිලකගේ ලකුණු 133 ක සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට ලකුණු 298 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු කණ්ඩායම 48 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ජයග්‍රහණය සනාථ කර ගන්නා විට කඩුලු 5 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ. ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 5.94 ක දළ වේගයක් රඳවා තබා ගැනීමේ අභියෝගය කර මත දරමින් පිටියට පිවිසි පාකිස්තානු ආරම්භක පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සම්බන්ධතාවයක් එක් කරමින් ලකුණු 300 කට ආසන්න ඉලක්කය හඹා යෑමට අවශ්‍ය අත්තිවාරම එක් කළහ.

ඉලක්කයකින් තොරවූ පන්දු යැවීමත් ඊට නොදෙවැනි දුර්වල පන්දු රැකීමත් මැනවින් ප්‍රයෝජනයා ගත් ෆකාර් සමන් සහ අබීඩ් අලී එම සම්බන්ධතාව සඳහා පන්දු 117 ක් පමණක් වැය කළේය. ඉමාම් උල් හක්ගේ ස්ථානය සඳහා ආදේශ කෙරුණු අබීඩ් අලී ලබාගත් ලකුණු 74 සඳහා පන්දු 67 ක් පමණක් වැය කළ අතර එයට හතරේ පහර 10 ක් ඇතුළත් කළේය. තරමක් තැන්පත් ලෙසින් පන්දුවට පහර දුන් සමාන් පන්දු 91 කට මුහුණ දෙමින් හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම වර්ණවත් කර ගත්තේය.

පාකිස්තානු ඉනිම ක්‍රියාත්මක වද්දී උඩ පන්දු 2 ක් සහ ස්ටම්ප් කිරීමකින් පිතිකරුවන් දවා ගැනීමේ අවස්ථා උදා වුවත් ඒ සියල්ලෙන්ම නිසි ප්‍රයෝජන ලබා ගැනීමට පන්දු රකින්නෝ අසමත් වූහ. එහිදී ප්‍රථමයෙන්ම අබීඩ් අලී ලකුණු 50 ක් ලබා සිටියදී ඩීප් මිඩ් විකට් හි පන්දු රැකි සධීර සමරවික්‍රමටද (අතිරේක), ලකුණු 75 ක් ලබා සිටියදී ෆකාර් සමාන් ලබා දුන් උඩ පන්දුව ධනුෂ්ක ගුණතිලකටද අත හැරිණ.

අදාළ උඩ පන්දු ගිලිහීමෙන් පසු මොවුන් දෙදෙනා එකතුව රැස් කරන ලද්දේ ලකුණු 25 ක් පමණක් වුවත් පාකිස්තානය ජය වාර්තා කරද්දී ඉතිරිව තිබුණේ පන්දු ගණන දෙස (පන්දු 10 ක්) අවධානය යොමු කිරීමේදී එම අතපසුවීම පහසුවෙන් බැහැර කළ නොහැක. ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථක සබඳතා පවත්වමින් ලකුණු පුවරුව ශක්තිමත් කළද ෆකාර් සමාන්ගේ දැවී යෑමත් සමඟ තරගයේ තරමක පාලනය සියතට ගැනීමට පන්දු යවන්නෝ සමත්වූහ.

පීඩනය දරා ගනිමින් පාකිස්තානු පිල ජයකණුව කරා රැගෙන ගිය හැරිස් සොහෙල් ලකුණු 28 දී ලබා දුන් ස්ටම්ප් කිරීමේ අවස්ථාව කඩුලු රැකි මිනෝද් භානුක අතින් ගිලිහී යෑම ශ්‍රී ලංකාවට දරාගත නොහැකි පාඩුවක් විය. ලොතරැයි වාසනාවක් බඳු ඒ අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගත් හැරිස් සොහෙල් සිය ඉනිම තෙවැනි අර්ධ ශතකය දක්වා පරිවර්තනය කරගත්තේය. ජයග්‍රහණයට ලකුණු 11 ක් තිබියදී සොහෙල්ගේ ඉනිම ලකුණු 56 කදී නවතාලීමට ෂෙහාන් ජයසූරිය සමත් වුවත්සොහෙල්ට අනගි සහායක් ලබා දුන් ඉෆ්තිකාර් අහමඩ් පන්දු 22 කදී කඩුලු 28 ක් ලබා ගනිමින් පාකිස්තානය ජය කණුව කරා රැගෙන ගියේය.  

ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමට පන්දුවාර 8 කට පෙර පන්දුවට පහර දීමට පැමිණි දසුන් ශානක දියත් කරන ලද වේගවත් පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300 සීමාවේ ආසන්නයට ඒමට මඟ පෑදින. පන්දු 24 කට මුහුණ දුන් දසුන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 43 ක් රැස් කළේය. 46 වැනි පන්දුවාරය ක්‍රියාත්ම කරන ලද වහාබ් රියාස්ට එරෙහිව හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සංග්‍රහ කරමින් ලකුණු 17 ක් උදුරා ගත් ශානක අවසන් පන්දුවාරයේ පළමු පන්දු 2 ටම හතරේ පහර එල්ල කරමින් රියාස්ව දැඩි ප්‍රහාරයකට ලක් කළේය.

තෙවැනි පන්දුවට පහරක් එල්ල කිරීමට යෑමේදී එය කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් උඩ පන්දුවක් රැක ගැනීම මත ශානකගේ ඉනිම නිමා වුවත්, එය සීමාව ඉක්මවා ගිය නිපන්දුවක් ලෙසින් පුණරූපන වලදී සනාථ වීම නිසා තවදුරටත් පිටියේ රැදී සිටීමට දසුන් වාසනාවන්ත විය. කෙසේ වෙතත් යවන ලද අවසන් පන්දුවේදී ශානකගේ කඩුල්ල රියාස්ගේ නම ඉදිරියෙන් සනාථ වුවත්, ඔහු ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 දී ලකුණු 81 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ඔහුගේ පන්දු යැවීම කරච්චි ක්‍රීඩාංගණයේ පන්දු යවන්නකු ලබා දුන් සිව්වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සටහන් විය.

කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද්විතීය ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 133 ක් රැස් කර ගත්තේය. පන්දු 134 කදී වාර්තා වුණු එම සුවිශේෂී ඉනිම සටහන් වූයේ ශ්‍රී ලංකා පිතිකරුවකු පාකිස්තානයේදී රැස් කරන ලද තෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව වශයෙනි. ධනුෂ්කට ඉදිරියෙන් වැඩිම ලකුණු ලද පිතිකරුවන් බවට පත්ව සිටින්නේ සනත් ජයසූරිය (නොදැවී 134) සහ ටී. එම්. ඩිල්ෂාන් (නොදැවී 137) වේ. කෙසේ වෙතත් ධනුෂ්ක ක්‍රීඩා කරන ලද ඉනිම කරච්චි ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවක් රැස් කරන ලද ඉහළතම ලකුණු සංඛ්‍යාව වශයෙන් වාර්තා වද්දී සමස්ථ ලෝකයට එය සංසන්දනය කරද්දී එය සිව්වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

මෙම වසර ඇතුළත ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කරන ලද 22 වැනි තරගය බවට පත් වූ මෙම තරගයේදී ධනුෂ්ක විසින් වාර්තා කරන ලද ශතකය ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද 5 වැනි ශතකය ලෙසිනි. ධනුෂ්කට ප්‍රථම තිසර පෙරේරා, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් සහ අවිශ්ක ප්‍රනාන්දු ශතක ලද පිතිකරුවන් වේ.

සධීර සමරවික්‍රම වෙනුවට මිනෝද් භානුකව කණ්ඩායමට කැඳවා තිබීම නිසා ධනුෂ්ක ගුණතිලක සමඟ ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවැරී තිබුණේ අවිශ්ක ප්‍රනාන්දුට වුවත් වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඔහුට නොහැකි විය. මොහොමඩ් අමීර්ගේ පන්දුවකට සෆ්‍රාස් අහමඩ් අතර උඩ පන්දුවක් දී අවිශ්කගේ ඉනිම නිමා වන විට ඔහුට ලකුණු 04 ක් ද ලකුණු පුවරුවේ ලකුණු 13 ක් සටහන් ව තිබිණ.

පෙර තරගවලට සාපේක්ෂව වඩා වැඩි අවධානයක් ලබා දෙමින් පන්දුවට පහර දුන් ධනුෂ්ක ගුණතිලක නායක ළහිරු තිරිමාන්න සමඟ එක්වෙමින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 300 මායිමට යෑම සඳහා වූ සාර්ථක අඩිතාලම එළනු ලැබූහ. පන්දු යවන්නන් රඳවා සිටින ස්ථාන අතරින් හතරේ සීමාව වෙත පන්දුව යැවීමට සැලැස්ස වූ මෙම වමත් පිතිකරුවන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක් එක් කළේ පන්දු 106 ක් වැය කරමිනි.

ඉතා ඉහළ විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දුන් තිරිමාන්න නායකයකුගේ වගකීම කරට ගනිමින් හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක්වූවේය. එහෙත්  පන්දු යැවූ මොහොමඩ් නවාස් වෙතට පෙරළා ආ පන්දුව උඩ පන්දුවක් ලෙසින් රැක ගැනීම නිසා තිරිමාන්නට අකමැත්තෙන් වුවද පිටියෙන් ඉවත් වීමට සිද්ධ විය. හතරේ පහර 4 කින් සිය ඉනිම සරසා ගත් තිරිමාන්න ලකුණු 36 දී ක්‍රීඩාගාරය වෙත පියමං කළද සිය අන්තය ආරක්ෂා කරගත් ධනුෂ්ක වැදගත් කඩුලු සම්බන්ධතා කීපයකටම හවුල් වූවේය.

එහිදී ප්‍රථමයෙන්ම ඇන්ජලෝ පෙරේරා සමඟ එක්ව ලකුණු 50 ක් එක් කළ ධනුෂ්ක, මිනෝද් භානුක සමඟ එක්වෙමින් ලකුණු 74 ක් එක් කළේය. එක්දින වරම් ලැබූ තරගය වුවද පරිණත පිතිකරුවකුගේ ලක්ෂණ විදහා පාමින් පන්දුවට පහර දුන් භානුක, ගුණතිලක ලකුණු 29 කින් එම සම්බන්ධතාවයට දායකත්වය දක්වද්දී කෝඩුකාර භානුකගේ දායකත්වය ලකුණු 36 කිනි.

කඩුලු අතර දිව යෑමේදී වූ අනවබෝධය හේතුවෙන් මිනෝද්ගේ ඉනිම නිමා නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව පහසුවෙන්ම උදාවනු ඇත. පළමු තරගය වුවද කිසිදු පීඩනයකින් තොරව පහර දුන් මේ වමත් පිතිකරුවා පන්දු තම ඉනිම දැවැන්ත හයේ පහර 2 කින් සරසාගත්තේය. පන්දු 39 කට මුහුණ දුන් මිනෝද් ලබා ගත් ලකුණු 36 ශ්‍රී ලංකා ඉනිමට වඩා වටිනාකමක් එක් කරන ලද ඉනිමක් බවට පත්විය.

මුහුණ දුන් 100 වැනි පන්දුවේදී සිය එක්දින තරග දිවියේ ශතකය වාර්තා කරගත් ධනුෂ්ක 6 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය. ධනුෂ්ක විසින් වාර්තා කරන ලද ශතකය ඔහුගේ එක්දින තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා විය. මීට පෙර ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබුණේ සිම්බාබ්වේ පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 116 විය. මොහොමඩ් අමීර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදෙමින් ඔහු දැවී යන විට හයේ පහරකින් සහ හතරේ පහර 16 කින් සිය ඉනිම සරසා ගෙන සිටියේය.

ශ්‍රී ලංකා පිල වෙනස් කම් 3 ක් සමඟින් මෙම තරගයට අවතීර්ණ වූ අතර ඇන්ජලෝ පෙරේරා, මිනෝද් භානුක සහ ලක්ෂාන් සඳකැන් තරගයට කැඳවා තිබුණේ. ඒ අනුව දෙවැනි තරගයට ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම, ඕෂද ප්‍රනාන්දු සහ ඉසුරු උදානට කණ්ඩායමේ ස්ථාන අහිමි වූහ. කුරුණෑගල මලියදේව විදුහලේ ආදි ශිෂ්‍යයකු වන එක්දින වරම් ලැබූ 24 හැවිරිදි මිනෝද් භානුක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලද 192 වැනි ක්‍රීඩකයා බවට පත්විය. මංගල එක්දින වරම් දිනා ගැනීම සඳහා සාම්ප්‍රදායිකව පිරිනමනු ලබන කැප් තොප්පිය කණ්ඩායම් කලමනාකරු වන අසන්ත ද මෙල් මහතා අතින් ලබා දීම කැපී පෙනුණු. පාකිස්තානු කණ්ඩායමද අද තරගයේදී වෙනස් කම් 2 ක් සිදු කරමින් අවතීර්ණ වී සිටින අතර දෙවැනි තරගය අතරතුරදී තුවාල ලත් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සහ ඉමාඩ් වසීම් අද තරගයට ක්‍රීඩා නොකරන අතර ඔවුන් වෙනුවට අබීඩ් අලී සහ මොහොමඩ් නවාස් කණ්ඩායමට කැඳවා තිබේ.

තරගයේ වීරයා – අබීඩ් අලී

තරගාවලියේ වීරයා – බාබර් අසාම්

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar