slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2019
3-0 ක තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හෙට පාකිස්තානය මුණ ගැසෙයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Lahore

තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානු පිල ඔවුන්ගේ මව්බිම තුළ පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායමට එරෙහිව පූර්ණ සුද්ධයක් හෙවත් 3-0 ක තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් හෙට (09 දා) ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයට අවතීර්ණ වනු ඇත. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7 ට ආරම්භ වනු ඇත.

තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට වඩා හෙට තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන්නේ විස්සයි-20 ශ්‍රේණිගත කිරීමේ ඉහළට ඒමය. මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල අදාළ ශ්‍රේණිගත කිරීමේ රැදී සිටියේ 8 වැනි ස්ථානයේය. මෑතකදී ටෙස්ට් වරම් දිනූ ඇෆ්ගනිස්ථානයද ශ්‍රී ලංකාවට ඉදිරියෙන් (7 වැනි ස්ථානයේ) පසු වූ නමුත් ලොව අංක 1 කණ්ඩායම ඔවුන්ගේ මව්බිමේදීම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම නිසා එම සටහනේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රේණිගත කිරීමේ තවත් ඉදිරියට ඒම වෙනුවෙන් හෙට තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉමහත් ලෙසින් වැදගත්වනු ඇත. මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක පවසන්නේ කණ්ඩායමේ සුළු සුළු වෙනස්කම් සිදුවීමට නියමිත වුවත් තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීම සිය අපේක්ෂාව වන බවයි.

“තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජය ගැනීමට අපිට හැකි වුණා. නමුත් හෙට තරගය ලෙහෙසියට ගන්න බෑ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න. අපේ ක්‍රීඩකයින් මහත් උද්‍යෝගයකින් සහ හොඳ මානසිකත්වයකිනුයි ඉන්නේ. ඒ නිසා අපිට මේ තරගයේ ජයග්‍රහණයත් අපේක්ෂා කරනවා”යි පවසන ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා, “විශේෂයෙන් ශ්‍රේණිගත කිරීමේදී ඉහළට යෑමට මේ තරග 3 ම ජය ගැනීම ඉතාමත් වැදගත්”යි පැවැසීය.

මෙම තරගාවලියට ප්‍රථම ඇෆ්ගනිස්තානය ශ්‍රේණිගත කිරීම් ලකුණු අනුව 235 ක් ලබා හත්වැනි ස්ථානයේ සිටි අතර ශ්‍රී ලංකාව 229 ක් ලබා 8 වැනි ස්ථානයේ පසුවිය. ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා වන විට විස්සයි-20 ශ්‍රේණියේ තත්ත්වය එසේ පවතිද්දී ඉහතින් සඳහන් කළාක් මෙන් තත්ත්වය මේ වන විට වෙනස් වී තිබේ.

කෙසේ වෙතත් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් කීපයක් අපේක්ෂා කළ හැකි අතර එහිදී බොහෝ විට ළහිරු මධුශංකට අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කළ හැක. ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දිනය විවේකීව ගත කිරීමට නියමිතව තිබුණත් ක්‍රීඩකයින් කිහිප පළක්ම කායවර්ධනය කිරීමේ පුහුණුවීම් වල නිරත වූහ. ඒ අතර නායක දසුන් ශානක, කසුන් රජිත, ෂෙහාන් ජයසූරිය, අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ළහිරු මධුශංක සහ ඕෂධ ප්‍රනාන්දු ඒ අතර විය.

උදෑසන කාලයේ කායවර්ධන පුහුණුවීම් වල නිරත වූ ඔවුහු අනතුරුව පිහිනුම් තටාකය උපයෝගී කරගනිමින් සිදුකරන පුහුණු සැසියකටද සහභාගිවිය. කණ්ඩායම තුළ මේ වන විට නිර්මාණය වී තිබෙන වාතාවරණය නිසා සෑම ක්‍රීඩකයකුම ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව තමන්ට හිමි වගකීම් ඉටු කිරීම අගය කළ යුතු කරුණු අතරට එක්වේ.

මේ අතර එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සංචිතය සකස් කර ගැනීමද තේරීම් කමිටු ප්‍රධානී සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතාගේ අරමුණ බවට පත්ව තිබේ. ඒ වෙනුවෙන් ඔහු මෙතෙක් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කරමින් සිටියි.

පාකිස්තානය සතුව කෙතරම් නම් දැරූ වේග පන්දු යවන්නන් සිටියද මෙතෙක් පැවැති තරග වලදී වැඩිම කඩුලු ලබා ගැනීමට ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සමත්වී සිටියි. ඔහු තරග 2 කදී ලකුණු 46 ක් පමණක් ලබා දී කඩුලු 7 ක් බිඳ හෙළා ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 6.57 ක් රඳවා තබා ගනිමිනි. මෙම තරගාවලිය ජය ගැනීම වෙනුවෙන් වැඩි දායකත්වයක් දක්වන ලද ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටින නුවන් ප්‍රදීප් ද හෙට තරගයේදී විවේක ගන්වනු ඇතැයි අපේක්ෂා කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක් බවට පත්ව සිටියි. ඉසුරු උදාන සහ වනිඳු හසරංග කඩුලු 5 බැගින් බිඳ හෙළා නුවන්ට පසුපසින් සිටින පන්දු යවන්නන් වන අතර පළමු තරගයේ කඩුලු ත්‍රිත්වයක් ලද මොහොමඩ් හස්නේන් කඩුලු 3 ක් දවා එහි සිව්වැනි ස්ථානයේ රැදී සිටියි.

සත්කාරක වාසීන් සියල්ලම සතු වුවද ලද පරාජයන් හේතුවෙන් පාකිස්තානු පිල මේ වන විට දැඩි විවේචනයකට ලක්ව තිබේ. මෙහිදී ඔවුන්ට එල්ල වන ප්‍රධානම චෝදනාව බවට පත්ව ඇත්තේ කණ්ඩායම් තේරීමේදී දක්ෂතා දක්වමින් සිටින ක්‍රීඩකයින් වෙනුවට කණ්ඩායමට එක් කරන ලද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දක්ෂතා දැක්වීමට නොහැකි වීමය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee