slc
logo
Home   |    News
ඔක්තෝබර් 24, 2019
දක්ෂයන් අතර අති දක්ෂයින් සොයන ප්‍රීමා පළාත් තරගාවලිය ඇරඹෙයි

Sri Lanka Cricket

පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් සපිරි ක්‍රීඩකයින් හඳුනා ගැනීම වෙනුවෙන් වූ පළමු පියවර ලෙස සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා සමූහ ව්‍යාපාරය එක්ව 12 වැනි වරටත් සංවිධානය කරන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය මෙවරත් මෙම ඔක්තෝබර් මස 27 වැනිදා සිට නොවැම්බර් 09 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙවර තරගාවලියේදීද පළාත් කණ්ඩායම් 12 ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය. ඒ අනුව මුළු තරග 31 ක් පැවැත්වීමට නියමිත අතර එහිදී ප්‍රසාද ලකුණු සටහන අනුව ඒ ඒ කාණ්ඩයන්හි පෙරමුණ ගන්නා කණ්ඩායම් ලබන නොවැම්බර් 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට තරග වැදීම සඳහා සුදුසුකම් ලබනු ඇත.

පළාත් තරගාවලියට පෙර පැවැති දිස්ත්‍රික් තරගාවලියේදී දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රීඩකයින් 700 දෙනෙකු කණ්ඩායම් 39 ක් යටතේ තරග වැදුණි. එම තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් 200 කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් යුතු පළාත් තරගාවලිය පැවැත්වෙනු ඇත.

උක්ත තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් අද (24 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති අතර එහිදී අදහස් දැක්වූ තරගාවලි අධ්‍යක්ෂක බන්දුල දිසානායක මහතා, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගය භාර ගැනීමට සිටින සියළුම ක්‍රීඩකයින් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ මෙම පළාත් තරගාවලියේ වන බැවින් මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දින දර්ශනයේ වැදගත් තරගාවලියක් බවට පත්ව තිබෙන බවයි.

“ඇත්තටම ක්‍රිකට් ආයතනය වසරකට තරගාවලි විශාල ප්‍රමාණ්‍යක් පවත්වනවා. නමුත් ඒ සියළුම තරගාවලිවලින් මේ අවුරුදු 15 න් පහළ තරගාවලිය අපිට ඉතාමත් විශේෂයි. ඒ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි. මේ වයස තමයි ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන පන්නරය ලබා ගන්නේ. මේ තරගාවලියෙන් තමයි ඔවුන් තරගකාරීත්වය කියන දේට අත්පොත් තබන්නේ. ඒ නිසා අපි හරිම උනන්දුවකින් මේ තරගාවලිය සඳහා අපේ කාලය සහ ශ්‍රමය වැය කරනවා”යි පැවැසූ තරගාවලිය අධ්‍යක්ෂකවරයා “මේ අවස්ථාවේදී අපි අපේ විශේෂ ස්තූතිය පිරිනමන්න කැමැති ප්‍රීමා සමූහ ව්‍යාපාරයට. මොකද ඔවුන් අවුරුදු 12 ක් පුරාම මේ තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වලා තියෙන නිසා. එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දියුණුවට සිදු කළ අතිමහත් සේවයක් හැටියට අපි ප්‍රීමා ආයතනයට ස්තූතිය පළ කර සිටිනවා”යි වැඩිදුරටත් පැවැසීය.

අනුග්‍රාහක ප්‍රීමා ආයතනය නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගි වූ  සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ෂුන් ටිඑන් ශින්ග් මහතා, ක්‍රිකට් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා කැපවීමේ වගකීමක් ලෙස සලකමින් 12 වැනි වසරටත් මෙම තරගාවලියට දායකත්වය දැක්වීමට හැකිවීම තම ආයතනය ලැබූ විශාල ආශිර්වාදයක් බව සඳහන් කර සිටියේය.

දශකයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා උතුරු නැගෙනහිර ඇතුළු ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ග්‍රාමීය ක්‍රිකට් ක්‍රීඩකයින් හට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදාවී තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය ලෙසින් සැලකෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට රැගෙන ඒමේ උදාරතර සංකල්පය මත පිහිටා මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබේ.

වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස්, මෙන්ම නවකයින් ලෙස කණ්ඩායමට එකතුව සිටින වනිඳු හසරංග, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු මධුශංක, ප්‍රියමාල් පෙරේරා, බිනුර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු යන සියළු ක්‍රීඩකයෝ මෙම පළාත් තරගාවලිය නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලැබූ ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

තරගාවලිය නියෝජනය කරන පළාත් කන්ඩායම් මෙසේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar