ලකුණු 04 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට මොහොමඩ් හස්නේන් ප්‍රමුඛ පාකිස්තානු නැගී එන කණ්ඩායමේ පන්දු යවන්නන් සමත්වීම නිසා නැගී එන කණ්ඩායම් අතර ක්‍රියාත්මක ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානු පිලට එරෙහිව කොක්ස් බසාර්හි පැවැති එක්දින තරගයෙන් ලකුණු 90 ක පරාජයක් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අත්විඳීමට සිදුවිය.
ජයග්‍රහණය සඳහා ලකුකණු 184 ක පහසු ඉලක්කයක් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට හිමි වුවද මොහොමඩ් හස්නේන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 30 කුත් පන්දු 4 කදී ලකුණු 93 කට සීමා විය. ශ්‍රී ලංකා පිල අන්ත අසරණත්වයකට ඇද දැමූ මොහොමඩ් හස්නේන් පන්දුවාර 7 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 6 ක් බිඳ දැම්මේ නොතිබූ ජයග්‍රහණයක් පාකිස්තානු පිලට උදා කර දෙමිනි.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිස්සංක (34), හසිත බෝයගොඩ (22) සහ රමේෂ් මෙන්ඩිස් (19) පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා ලීමට සමත්වූ පිතිකරුවන් බවට පත්වූහ. අදාළ හඹා යෑමේදී මිනෝද් භානුක ලකුණු 02 කට දැවී ගියද දෙවැනි කඩුල්ලට එක්වූ පැතුම් නිස්සංක සහ හසිත බෝයගොඩ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක් එක් කරමින් ලකුණු පුවරුව ඉහළ දැමූහ.
එහෙත් පන්දු 3 ක් ඇතුළත මොවුන් දෙදෙනාම දවා ගැනීමට කුෂ්දිල් ෂා සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම ඇරඹිණ. සිව්වැනි කඩුල්ලට එක්වූ නායක චරිත් අසලංක සහ උප නායක කමිඳු මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සාහ ගනු ලැබුවද එහිදී ප්‍රථමයෙන්ම නායක අසලංකව දවා ගත් මොහොමඩ් හස්නේන් ජයග්‍රහණය සඳහා වන ප්‍රධානම අඩිතාලම එක් කළේය. අසලංකගේ දැවී යෑමත් සමඟ කිසිම පිතිකරුවකුට හිස එසවීමට අවස්ථාව ලබා නොදුන් හස්නේනි සහ උමර් ඛාන් ඉතිරි කඩුලු 7 ම ලකුණු 04 ක් ඇතුළත බිඳ දැමූහ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු නැගී එන කණ්ඩායම පන්දුවාර 49.5 කදී සියලුදෙනාම ලකුණු 183 කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද පිතිකරුවන් ලෙස ස්ථාවර වීමට නොහැකි වීම මෙම තරගයේ පරාජයට ප්‍රධානම හේතුව විය.
පාකිස්තානු නැගී එන පිල වෙනුවෙන් රොහෙයිල් නසීර් ලකුණු 37 ක්ද කුෂ් දිල් ෂා ලකුණු 32 ක් ද රැස් කරමින් එම ලකුණු පුවරුව ඉහළ දැමූහ. පන්දු යැවීමේදී කැපී පෙනුණු අසිත ප්‍රනාන්දු ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගනිද්දී අමිල අපෝන්සෝ සහ කලන පෙරේරා කඩුලු 2 බැගින් දවා ගනිමින් පාකිස්තානු පිතිකරුවන් අසීරුවේ දැමූහ.