slc
logo
Home   |    News
දෙසැම්බර් 8, 2019
“අපි කළ යුත්තේ හොඳින් තරග වැදීමයි” බාහිර අභියෝගවලට පිළිතුරු දෙමින් දිමුත් කියයි

Sri Lanka Cricket

By Chamila Karawita 

දෙදහස් නවය වසරේ සිට ගෙවී ගිය වසර 10 ක කාලයකට පසු ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (08 දා) පස්වරුවේදී පාකිස්තානය බලා පිටත්ව යන්නේ අභියෝග කීපයක්ම හිසේ තබාගෙනය. ලබන 11 වැනිදා ආරම්භ වන තරග 2 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන බැවින් තරගාවලිය ජය ගැනීම ඒ අතර ප්‍රධානම අභියෝගය බවට පත්ව තිබේ. 

පළමු ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිත රාවල්පිණ්ඩි නගරයේ අධික ශීතලයක් පැවැතීම, පුහුණු තරගයකින් තොරව ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීම, ගෙවී ගිය අවසන් මාස කීපයේදී රතු පන්දුවට ක්‍රීඩා නොකිරීම, ප්‍රබල වේග පන්දු යවන්නන්ගෙන් සමන්විත පාකිස්තානු අභියෝගයට මුහුණ දීම මෙන්ම  වසර 10 කට පසු පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී තණතීරු කෙසේ හැසිරෙයිද යන්න මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති සෙසු අභියෝග බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න පවසන්නේ, වෘත්තීය ක්‍රීඩකයින් වශයෙන් ඒ සියළු අභියෝගයන් වලට මුහුණ දීමේ ශක්තිය තමන් ඇතුළු කණ්ඩායම සතුව පවතින බවයි.

“මේ තරගාවලියට සහභාගිවීමේදී වැඩිම අවධානයක් යොමු වුණේ ආරක්ෂාව සම්බන්ධවයි. නමුත් පාකිස්තානයට මීට කළින් ගිය කට්ටිය ආරක්ෂාව හොඳ තත්ත්වයක තිබුණා කියන එක ගැන ධනාත්මකව අදහස් දැක්වුවා. මං හිතන්නේ ඒ කියපු දේවල් එක්ක ආරක්ෂාව ගැන තිබුණු අවධානම අපේ හිත් වලින් අයින් වෙලා ගියා. අපිට දැන් ඕන එහෙ ගිහිල්ලා හොඳින් ක්‍රීඩා කරන්න. ඒක නිසා අපි එහේ ගිහිල්ලා අපි දන්න දේ කරන්න බලාපොරොත්තු වෙනවා”යි දිමුත් අදහස් දැක්වීය.

2009 වසරේ මාර්තු 03 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ගෙවී ගිය වසර 10 ඇතුළත එකම ටෙස්ට් තරගයක් හෝ පාකිස්තානයේ නොපැවැත්විණි. මෙම ටෙස්ට් තරග සංචාරයද ඉකුත් අගෝස්තු මසදී එක්සත් අරාබි එමීර් හි පැවැත්වීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා පිලේ සහභාගිත්වයෙන් පාකිස්තානයේ පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලි සාර්ථකව පවත්වා අවසන් කිරීමට හැකි වූයෙන් මෙම තරගාවලියද පාකිස්තානයේ පැවැත්වීම කෙරෙහි දෙරට එකඟතාවයකට පැමිණියහ.

“මේක මම පාකිස්තානයට යන පළමු අවස්ථාව. මං විතරක් නොවෙයි කණ්ඩායමේ ඉන්න ගොඩක් අය. ඒත් ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරගාවලියක් නිසා මේ තරගාවලියට හැමෝම ගොඩක් උනන්දුවෙන් සහ මහන්සියෙන් සූදානම් වුණා. අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ ක්‍රීඩා කරන්න තියෙන තරග 2 හොඳින් ක්‍රීඩා කරලා ලබාගන්න පුලුවන් උපරිම ප්‍රසාද ලකුණු අරගෙන එම සටහනේ ඉහළට යන්න. අපි දන්නවා පාකිස්තානය වගේ රටකට ගිහිල්ලා ඒක කරන එක හරි අමාරු වැඩක් කියලා. නමුත් අපි මහන්සි වෙනවා. ඔවුන්ගේ රටට ගිහින් ඔවුන් එක්ක හොඳ තරගයක් දුන්නොත් තරගාවලිය ජයග්‍රහණය කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියන එක හැමෝගෙම හිතේ තියෙනවා”යි වැඩිදුරටත් පැවැසීය. 

දිමුත්ගේ අදහස ඉතාම ධනාත්මක එකකි. ඒ සඳහා වූ හොඳම උදාහරණය බවට පත්වූයේ ශ්‍රී ලංකාව අවසන් වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානය මුණ ගැසුණු තරගාවලිය වේ. එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් අතරින් බහුතරයක් මෙම තරගාවලිය සඳහා ඇතුළත්ව සිටින අතර එහි නොමැති එකම ප්‍රධාන ක්‍රීඩකයා වන්නේ රංගන හේරත් පමණි.

“බලන්න ඒ තරගාවලිය. කවුරුත් හිතුවේ නෑ අපි ඒ තරගාවලිය ජය ගනියි කියලා. නමුත් අපි ඒ දේ කළා. අවශ්‍ය වන්නේ හරි දේ හරි වෙලාවෙදී සිදුකරන එක” යැයිද දිමුත් උදාහරණාත්මකව තවදුරටත් කරුණු පැහැදිළි කර සිටියේය.

පාකිස්තානු කණ්ඩායම මේ තරගාවලියට අවතීර්ණ වන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස අන්ත පරාජයකට මුහුණ දෙමිනි. එම පරාජිත මානසිකත්වය ශ්‍රී ලංකාවට අතිරේක වාසියක් ගෙන නොදෙනවාම නොවේ. ඒ කෙසේ වෙතත් පාකිස්තානය සතුව ප්‍රබල වේග පන්දු යවන්නන් කීප පළක්ම සිටීම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයකි. එමෙන්ම වේග පන්දු යවන්නන්ට උචිත ශීත කාලගුණික තත්ත්වයක් යටතේ ඔවුන්ට පන්දු යැවීමට හැකි වීමද ඔවුන්ට ආභරණයක් බඳුය. 

“මං කළිනුත් කිව්වා වගේ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරනවා කියන්නේ මේ වගේ දේවල්වලට තමයි සූදානම් විය යුත්තේ. ඔබ කිව්වා වගේ අපි දන්නවා රාවල් පිණ්ඩි කියන්නේ වකාර් යුනිස්, අෂොයෙබ් අක්තාර්ගේ ක්‍රීඩාංගණය කියලා. අනිවාර්යයෙන්ම ඒ තණතීරු ගොඩක් වෙලාවට වේග පන්දු යවන්නන්ට උචිත තණතීරු. නමුත් එහෙම කියලා බැහැ. වෘත්තීය ක්‍රීඩකයින් වශයෙන් ඒ වගේ තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමට අපි සූදානම් විය යුතුයි. ඒකයි ටෙස්ට් ක්‍රීඩාවේ තියෙන වැදගත් කම”

“ඒ හින්දා මේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අපි ගොඩක් හොඳින් මහන්සි වුණා. පාකිස්තානු පිල කියන්නේ ඉතාම හොඳ කණ්ඩායමක්. ඔවුන්ගෙන් එන අභියෝගයන් සුලු පටු නෑ. ඒ අභියෝගයට හොඳ පිළිතුරක් දෙන්න අපි හොඳ සූදානමකින් ඉන්නවා කියන එක කියන්න පුලුවන්”යැයි තරගාවලියට පිටත්ව යෑමට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වූ ශ්‍රී ලංකා නායකයා කරුණු ගෙන හැර පෑවේය.

ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්ව සිටින මිකී ආතර්ද ඉකුත් අගෝස්තු මස තෙක්ම පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කළ බැවින් පාකිස්තානු තණතීරු මෙන්ම පාකිස්තානු කණ්ඩායම අනුගමනය කරනු ලබන උපාය මාර්ගයන් පිළිබඳව හසල දැනුමක් ඇත්තෙකි. “අපී මිකී (ආතර්) එක්ක ගෙවුණු දවස් 2 දීම පුහුණුවීම් සිදු කළා. පාකිස්තානු කණ්ඩායම ගැන, එහේ තණතීරු ගැන බොහෝ දේවල් ඔහු අප සමඟ පවසා සිටියා. අපිට පළමු තරගයට ගළින් පුහුණු සැසි 2 කට සහභාගිවීමට අවස්ථාව තියෙනවා. ඔහු එක්ක වැඩ කරපු හෝරා කීපය ඉතා හොඳින් පුහුණුවීම් සිදු කළා. ඔහු ගොඩක්ම සුහදශීලී පුද්ගලයෙක්”යි ද දිමුත් කරුණාරත්න පැවැසීය. 

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 11 වැනිදා රාවල්පිණ්ඩිහිදීත් දෙවැනි ටෙස්ට් තරගය ලබන 19 වැනිදා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත. 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar