slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2019
ජයපැරදුමෙන් තොරව අවසන් වුණු තරගයේදී අබීඩ් අලී නව පරිච්ඡේදයක් ලියයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi 

ධනංජය ද සිල්වාගේ හය වැනි ටෙස්ට් ශතකය ප්‍රධාන කොට රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලබා දුන් ලකුණු 308 පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු පිතිකරුවෝ පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය (15 දා) වූ අද දිනයේ නියමිත වේලාවට පෙර තරගය නතර කරන විට කඩුලු 2 කට ලකුණු 252 ක් ලබා සිටියහ.

තරගයේ අවසන් පැය එළැඹෙත්ම දෙපිළේම නායකයින්ගේ කැමැත්ත අනුව තරගය නිමා කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. පාකිස්තානු ඉනිමේ ක්‍රියාත්මක කෙරුණු පන්දුවාර 70 ඇතුළතදී ශතක සම්බන්ධතාවයක් පැවැත්වූ අබීඩ් අලී පන්දු 201 කදී ලකුණු 109 ක්ද  සහ බාබර් අසාම් පන්දු 128 කදී ලකුණු 102 ක්ද රැස් කරගෙන සිටියහ. 

මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ අබීඩ් අලී කිසිවෙකුට බිඳ හෙළිය නොහැකි ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වීම අද දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම විය. මීට පෙර ලොව කිසිම පිතිකරුවකු ටෙස්ට් සහ එක්දින තරග අංශය යටතේ ක්‍රීඩා කරන ලද මංගල ඉනිමේදී ශතක වාර්තා කිරීමට අපොහොසත් වූ නමුත් එම විරළ වාර්තාවේ පළමු අයිතිකරුවා බවට පත්වීමට අබීඩ් අලීට අද අවස්ථාව උදා විය. පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 4 කට ක්‍රීඩා කර ඇති අබීඩ් අලී මෙම වසර මුලදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින වරම් දිනා ගන්නා ලද තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සමත්විය. ඩුබායිහි පැවැති එම තරගයේදී පන්දු 119 කට මුහුණ දුන් අබීඩ් ලකුණු 112 ක් ලබා ගැනීමට සමත්ව තිබේ.

විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට ස්කෙවයාර් කට් පහරක් එල්ල කළ අබීඩ් අලී සිය ශතකය සම්පූර්ණ කරගන්නා ලද්දේ තවත් වාර්තාවන් කීපයක්ම තම නම ඉදිරියෙන් ලියා ගනිමිනි. මුහුණ දුන් 183 වැනි පන්දුවේදී සිය මංගල ශතකය සම්පූර්ණ කරගත් මේ දකුණත් පිතිකරුවා, ඉහත ලෝක වාර්තාවට අමතරව, වසර 10 කට පසු පාකිස්තානය ඇතුළත ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා මෙන්ම තරගය පැවැති පිණ්ඩි ක්‍රීඩාංගණයේදී 2000 වසරෙන් පසු ශතකයක් රැස් කරන ලද පළමු පාකිස්තානු පිතිකරුවා බවට පත්වීමට සමත්වීම එම වාර්තා බවට පත්විය. පිණ්ඩි ක්‍රීඩාංගණයේදී අවසන් වරට ශතකයක් රැස් කර ඇති පිතිකරුවා බවට පත්ව සිටින්නේ හිටපු ටෙස්ට් නායක යුනිස් ඛාන් වන අතර එයද ඔහුගේ මංගල ටෙස්ට් තරගය බවට පත්වීම විශේෂත්වයක් ලෙසින් සඳහන් කළ හැක. ටෙස්ට් වරම් ලබා ගැනීමට පෙර පාකිස්තානය වෙනුවෙන්  එක්දින තරග 4 කට සහභාගිවී සිටින අබීඩ් අලී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 47.75 ක් රඳවා ගෙන ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතකයක්ද සමඟිනි.

ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ලකුණු 36 ක් ලබා සිටි අසාර් අලී දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් දී දැවී යෑමෙන් අනතුරුව අබීඩ් එලීට එක් වූ බාබර් අසාම් තේ පානය දක්වා කඩුලු ආරක්ෂා කරගිනිමින් පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 177 ක් දවා ඉහළ දමා ගත්හ. අබීඩ් අලීට වඩා හාත්පසින්ම වෙනස් තරමක වේගවත් පිතිහරඹයක නියැළුණු බාබර් අසාම් මුහුණ දුන් 70 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගැනීමට සමත්වූ නමුත් එම ඉනිම තෙවැනි ටෙස්ට් ශතකය බවට පරිවර්තනය කර ගැනීමේදී පන්දු 48 ක් පමණක් වැය කිරීම කැපී පෙනුණි.

පන්දුවාර 70 ක් දක්වා විහිදුණු පාකිස්තානු ඉනිමේදී ළහිරු කුමාරට අමතරව කඩුල්ලක් දවා ගත් පන්දු යවන්නා වූයේ කසුන් රජිතය. පාකිස්තානු ඉනිමේ දැවී ගිය පළමු පිතිකරුවා වූ ශාන් මසූඩ් ෂෝට් එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රැකී දිනේෂ් චන්දිමාල් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේ ලකුණු ලබා ගැනීමටත් පෙරය. ළහිරු සහ කසුන් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වද්දී පන්දු යැවීඹ සඳහා ඕෂද ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස්ගේ සහාය ලබා ගැනීමට කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න කටයුතු යෙදීමද කැපී පෙනුණි. 

දින 4 ක් මුළුල්ලේ පන්දුවාර 91.5 කට සීමා වුණු පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දින උදෑසන කඩුලු 6 කට ලකුණු 308 ක් ලබා සිටියදී  ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානු පිලට ලබා දුන්නේය.  කඩුලු 4 ක් ඉතිරිව තිබියදී පාකිස්තානුවන්ට පන්දුවට පහර දීමට අවකාශ සලසා දෙද්දී මෙතෙක් තරගයේ කැපී පෙනුණුම පිතිකරුවා බවට පත්වූ ධනංජය ද සිල්වා සිය ටෙස්ට් තරග දිවියේ 6 වැනි ශතකය ලබා ගැනීමට සමත්ව සිටියේය.

මොහොමඩ් අබ්බාස් විසින් ක්‍රියාත්මක කරන ලද 97 වැනි පන්දුවායේ දෙවැනි පන්දුවට මනරම් කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් ලබා ගත් හතරේ පහරත් සමඟ සිය 6 වැනි ටෙස්ට් ශතකය ඉක්මවා ගිය ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම නවතා දමන විට පන්දු 166 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 102 ක් ලබාගෙන සිටියේය. පුරා හෝරා 4 කට අධික කාලයක් (මිනිත්තු 241 ක්) කඩුල්ලේ රැඳී සිටි ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කරන ලද මිල කළ නොහැකි ශතකය සඳහා හතරේ පහර 15 ක්ද ඇතුළත් කර ගත්තේය.

ධනංජය වාර්තා කරන ගන්නා ලද මෙම ශතකය පිණ්ඩි ක්‍රීඩාංගණයේ වාර්තා පොත් අතරට එක්වූයේ ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් රැස් කර ගන්නා ලද දෙවැනි ශතකය ලෙසිනි. මීට පෙර මෙම ක්‍රීඩාංගණයේදී ශතකයක් වාර්තා කරන ලද එකම ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්ව සිටියේ අරවින් ද සිල්වා වන අතර ඔහු 2000 වසරේ පැවැති තරගයේදී ලකුණු 112 ක් රැස් කිරීමට සමත්ව තිබේ. ඒ අනුව අරවින්ද ද සිල්වාගේ විසින් රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව ඉක්මවා යෑමේ පහසුම අවස්ථාවක් ධනංජයට උදාවුවත් පන්දු යවන්නන්ට සිය රිද්මය ගොඩ නගා ගැනීමේ අවස්ථාව සලසමින් ඉනිම අත්හිටුවීමත් කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කිරීමත් සමඟ එම අවස්ථාව ඔහුට අහිමිවිය. 

කඩුලු 6 කට ලකුණු 282 ක්ව සටහන්ව තිබියදී පස්වැනි දින ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේ සිටම වේගවත්ව ලකුණු රැස් කිරීමට උණන්දුවක් දැක්වූ බව පැහැදිළිව දැක ගත හැකි විය. එහිදී සිය පිතිකරණ තරමක් ප්‍රහාරාත්මක එකක් බවට පත් කළ ඩිල්රුවන් විශාල පහර කරා යෑමට දැක්වූයේ තරමක උණන්දුවකි. ඒ අනුව මො‍හොමඩ් අබ්බාස්ගේ පන්දුවකට ඩිල්රුවන් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. තරගය නිමා කරන විට තම අන්තය ආරක්ෂා කරගත් ඩිල්රුවන් පන්දු 34 කදී ලකුණු 16 ක් ලබා සිටියේය. 

තණතීරුවේ වැඩි වාසියක් ලබා ගැනීමේ අදහසින් වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වුවද ශහීන් අෆ්රිඩි සහ නසීම් ෂා පමණක් කඩුලු 2 ක් දවා ගනිමින් වැඩි ප්‍රයෝජන ලබා ගත්හ. සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වුණු මොහොමඩ් අබ්බාස් සහ උස්මාන් ශින්වාරි එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 308 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 5 ක් අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 05 ක් ලබා සිටින අතර දැවී ගිය පිතිකරුවා බවට පත්වූ ශාන් මසූඩ්ගේ කඩුල්ල කසුන් රජිත දවා ගැනීමට සමත්විය. 

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 19 වැනිදා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. 

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest