slc
Home   |    News
දෙසැම්බර් 17, 2019
“මේ මගේ හොඳම ශතකය නොවෙයි” ධනංජය ද සිල්වා

Sri Lanka Cricket

Chamila Karawita reporting from Rawalpindi

පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා පිල මුහුණ දෙන ලද්දේ පැය 4 කට ආසන්න පුහුණු සැසියකින් පසුවය. වර්ෂය මුළුල්ලේම සෙල්ෂියස් අංශක 28 ට වඩා වැඩි උෂ්ණත්වයක් පවතින ශ්‍රී ලංකාවෙන් මෙන් නොව සෙල්ෂියස් අංශක 8 ත් 12 ත් අතර දෝලනය වූ ශීත කාලගුණය පන්දුවට පහර දීමේදී මුහුණ දීමට සිදුවූ ප්‍රධානම අභියෝගයය. ඒ හැරුණු විට පැයට කිලෝ මීටර් 145 ට වැඩි වැඩි වේගයකින් පන්දු යවන වේග පන්දු යවන්නන් තිදෙනකුගෙන් සහ සමස්ථ වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු කණ්ඩායමට ශීත කාලගුණය සහිත පිණ්ඩි තණතීරුවේදී ලැබුණු සහයෝගය පිළිබඳව අමුතුවෙන් කියා දියයුතු නැත. මේ සියළු අභියෝග හමුවේ අංක 6 පිතිකරණ ස්ථානයෙන් ධනංජය ද සිල්වා පන්දුවට පහර දීමට පැමිණියේ දිවා ආහාරයෙන් පසු තරගය පැවැති කාල සීමාවේදී ලකුණු 31 ක් ඇතුළත කඩුලු 4 ක් දැවී යෑමේ පීඩනයද කරපින්නාගෙනය.

ඒ වන විටත් කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස්ට එක් වූ අප කතා නායකයා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක්ද නිරෝෂන් දික්වැල්ල සමඟ එක්ව ලකුණු 67 ක්ද එක් කොට කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම නඟා සිටුවීමට දායකත්වය දක්වන ලද්දේ පාකිස්තානු වේග පන්දු බල ඇණියට තාක්ෂණය අතින් වඩාත් ආකර්ෂණීය ලෙස මුහුණ දෙමිනි. ඉහතින් සඳහන් කළ අභියෝගයන් වලට අමතරව අඳුරු කාලගුණය නිසා විදුලි ආලෝකය සමඟ ක්‍රීඩා කිරීම, ක්‍රීඩාංගණය වෙළා ගෙන තිබුණු මීදුම් සහිත තත්ත්වය මෙන්ම කාලගුණ බාධාවන් හේතුවෙන් විටින් විටි නවතා දමා ආරම්භ කරනු ලබන තරගයට නැවත නැවතත් අනුගත වීමේ අභියෝගයන් ධනංජය හමුවේ පැවැතිණ.

එහෙත් ඒ සියල්ල අභියස නොසැලුණු ධනංජය ද සිල්වා දින 5 ක් මුළුල්ලේ පන්දුවට පහර දෙමින් තම ඉනිම ශතකයක් බවට පරිවර්තනය කරගන්නා ලද්දේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවයද රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ ඉහළට ඔසවා තබමිනි. පිතිකරණ අනුපිළිවෙළේ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කළ හැකි පිතිකරුවකු ලෙස නමක් දිනා සිටින ධනංජය මෙම ශතකයට පෙර ටෙස්ට් තරග දිවියේ ශතක 5 ක් ලබා ගෙන ඇති අතර ඒ අතරින් සියල්ලම දැඩි පීඩන කාරී තත්ත්වයන් යටතේ ලබා ගත් ඒවාය. එහෙත් ධනංජය පවසන්නේ මෙම තරගයේ ලබා ගත් ශතකය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම ශතකය නොවන බවයි.

“මගේ පළවැනි සීය තමයි මම තවමත් මගේ දිවියේ රැස් කරලා තියෙන හොඳම ශතකය” යැයි පවසන ධනංජය, “ඇත්තටම අඳුරු සහ වැහි බර කාලගුණ තත්ත්වය යටතේ පාකිස්තානු පිලේ සියළුම වේග පන්දු යවන්නන් පන්දුව දෝලනය කරමින් ඉතාම හොඳින් පන්දු යැව්වා. සියළුම වාසි තිබුණේ වේග පන්දු යවන්නන්ට වාසි දායක විදියට. ඒ තත්ත්වයන් යටතේ මෙහි ශතකයක් ලබා ගෙන ගෞරව නාම පුවරුවේ මගේ නම සටහන් කිරීමට හැකිවීම ගැන මට ලොකු ආඩම්බරයක් දැනෙනවා”යි වැඩිදුරටත් පැවැසීය.

ධනංජය විසින් රැස් කර ගන්නා ලද මෙම ශතකය පිට පිටම ලබා ගත් දෙවැනි ශතකය මෙන්ම 2019 වසර ඇතුළත වාර්තා කර ගන්නා ලද දෙවැනි ශතකය විය. ඔහු මෙම තරගයට පෙර නවසීලන්තයට එරෙහි ඕවල් පිටියේ පැවැති අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 109 ක් ලබා ගැනීමට සමත්වූවේය. ඊයේ ක්‍රීඩා කරන ද සුවිශේෂී ඉනිමත් සමඟ ගෙවී ගිය වසරේ වැඩිම ශතක ලාභීයා බවට පත්වීමට අමතරව වසර පුරා වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා සිටින පිතිකරුවන් අතර දෙවැනි තැනට තේරී පත්විය. දිමුත් ඉනිම 13 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 38.38 ක් රඳවා ගනිමින් ලකුණු 486 ක් ලබා ගැනීමට සමත්වද්දී ධනංජය ඉනිම 12 කට ක්‍රීඩා කරමින් ලකුණු 371 ක් ලබා එම පිතිකරණ ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙති. එමෙන්ම ගෙවී ගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක 4 ක් වාර්තා වී තිබෙන අතර ඉන් දෙකක්ම ධනංජය ද සිල්වාගේ නම ඉදිරියෙන් ලියැවෙද්දී දිමුත් කරුණාරත්නගේ සහ කුසල් ජනිත් පෙරේරාගේ ඉතිරි ශතක ලබා ගැනීමට සමත්ව සිටිති.

“මම පුලුවන් උඩ පිතිකරුවන් හත් දෙනා ඇතුළේ ඕනෑ තැනක ක්‍රීඩා කරන්න. නමුත් කණ්ඩායමට අවශ්‍ය වෙන්නේ මම නොම්බර 6 ස්ථානයේ පන්දුවට පහර දෙන්න. ඒක නිසා මම එතන දිගටම ක්‍රීඩා කරනවා. එයාලා උඩ එන්න කිව්වොත් මම උඩටත් ඇවිල්ලා පන්දුවට පහර දෙනවා. දක්ෂතාවය සුරක්ෂිතභාවයක් දෙන්න බෑ. කරන්න පුලුවන් උපරිම දේ මම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙනවා” යැයි දැනට ක්‍රීඩා කරනු ලබන අංක 6 ස්ථානය පිළිබඳව මාධ්‍යවේදීන් කරන ලද විමසුමකදී ධනංජය අදහස් දැක්වීය.

ඔස්ට්‍රේලියාව සමඟ 2016 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය සිය මංගල ටෙස්ට් තරගාවලිය බවට පත් වුණු ධනංජය තෙවැනි ටෙස්ට තරගයේදීම ශතකයක් ලබා ගැනීමට සමත්විය. එතැන් පටන් පිතිකරණ අනුපිළිවෙළේ අංක 3 ස්ථානයේ සිට අංක 9 ස්ථානය දක්වා පන්දුවට පහර දී ඇති ධනංජය පිතිකරුවකු ලෙස ඉහළම දක්ෂතා දැක්වීමට සමත්ව සිටින්නේ අංක 6 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණෙමිනි. ධනංජය විසින් රැස් කොට ඇති ශතක 6 න් 3 ක්ම අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණ ලබා ගත් ඒවා වීම විශේෂත්වයකි. එමෙන්ම පිතිකරණ අනුපිළිවෙලේ සමස්ථයක් ගත් විට අංක 6 ස්ථානය හැරුණු කොට අනෙක් සියළුම ස්ථානයන්හි පන්දුවට පහර දෙමින් ලබා ඇති සාමාන්‍ය අගය 35.22 ක් වන අතර අංක 6 ස්ථානයේදී 49.81 ක සාමාන්‍යයක් රඳවා ගැනීමට ධනංජය සමත්ව තිබේ.

“මම හිතන්නේ මට පන්දුවට පහර දෙන්න තියෙන සුදුසුම තැන තමයි අංක 6 ස්ථානය. කොතැන ක්‍රීඩා කළත් මගේ පන්දුවට පහර දෙන විලාශය මම වෙනස් කරලා නැහැ. පළමු තරගයට ක්‍රීඩා කරපු විදියටම තමයි මම මේ තරගයේදීත් ක්‍රීඩා කළේ. ඔයාලට එහෙම තේරෙනවා ඇත්තේ මම හැම තැනින්ම පන්දුවට පහර දීලා තියෙන නිසා වෙන්න ඇති. නමුත් එක තැනක දිගටම ක්‍රීඩා කරද්දී ඒක පිතිකරුවකු ලෙස ස්ථාවර වෙන්න ගොඩක් පහසු වෙනවා”යි ධනංජය තරගයෙන් පසු වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

මේ අතර පස්වැනි දිනයේදී පන්දුවාර 5 ක් පමණක් ක්‍රීඩා කරමින් පන්දුවට පහර දීමට පාකිස්තානු පිලට ආරාධනා කර සිටීම පිළිබඳවද අදහස් දැක්වූ ධනංජය, “ඇත්තටම පන්දුවාර 5 ක් ක්‍රීඩා කරන්න නොවෙයි අපි හිතන් හිටියේ. මට කිව්වේ 100 ගහනකම් පන්දුවට පහර දෙන්න අවස්ථාව දෙනවා කියලා. ඒ හැරෙන්න ඉනිම අත්හිටෙව්වේ මේ තත්ත්වයන් වලට පන්දු යවන්නන්ටත් හුරු වෙන්න අවස්ථාව ලබා දෙන්න. අපිට දැන් තේරෙනවා තණතීරු හැසිරෙන්න කොයි විදියටද කියලා. විශේෂයෙන් සීථල වෙලාවෙදි කොහොමද, රස්නෙ වෙලාවෙදි කොහොමද කියන එක අපිට හොද අවබෝධයක් තියෙනවා. මේ ඔක්කොම ඊළඟ තරගෙට යන්න කළින් ඔළුවට දා ගත යුතුයි”යැයි වැඩිදුරටත් කියයි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest