slc
Home   |    News
දෙසැම්බර් 19, 2019
ලකුණු 300 ක් ගත්තොත් සටනක් දිය හැකියි – ලසිත් ඇඹුල්දෙණිය

Sri Lanka Cricket

Chamila Karawita reporting form Karachi

පළමු ඉනිම ඇතුළතදී ලකුණු 300 ක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණහොත් පාකිස්තානු කණ්ඩායමට තර්ජනයක් එල්ල කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සඳහන් කර සිටියේය. 

පාකිස්තානයට එරෙහිව කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ අද (19 දා) ඇරැඹි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින අවසන පැවැති මාධ්‍ය හමුවේදී ඇඹුල්දෙණිය ඉහත අදහස් පළ කර සිටියේය. පාකිස්තානු කණ්ඩායම ලකුණු 191 කට සීමා කිරීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කරන ලද පන්දු යවන්නන් තිදෙනාගෙන් එක් අයෙකු බවට පත්වූ ඇඹුල්දෙණිය ලකුණු 71 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය. 

තරගයේ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දක්වා සිටි වමත් දඟ පන්දු යවන්නා, “. ඉස්සරහට තියෙන ප්ලෑන් ගැන කතා කළොත් පළවැනි ඉනිම සදහා ලකුණු 300 කට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තොත් තරගයේ වැඩි වාසි අපේ පැත්තට හරවා ගන්න පුලුවන් කියන විශ්වාසයේ අපි ඉන්නවා” යි සඳහන් කර සිටියේය.

ඇඹුල්දෙණිය දවා ගන්නා ලද කඩුලු 4 අතර පාකිස්තානු ඉනිමේ ප්‍රධානතම පිතිකරුවා වුණු බාබර් අසාම් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක් විය. 12 වැනි පන්දුවාරයේදී පන්දු යැවීම ආරම්භ කළද පළමු පන්දුවාරය එතරම් හොඳට යැවීමේ හැකියාව තමාට අහිමි වූ බව පවසන ඇඹුල්දෙණිය අනතුරුව තමා පන්දු යැවීමට හොඳින් අවතීර්ණ වූ බව අවධාරණය කර සිටියේය.

“ඇත්තම කියනවා නම් මම පළමු පන්දුවාරය හරියට යවන්න බැරි වුණා. ඒ පන්දු වාරයෙන් පස්සේ තමයි මම තරගයට අවතීර්ණ වුණේ. තණතීරුව පන්දුව දඟ කැවීමකුත් තිබුණා. බාබර් අසාම් ගොඩක් වෙලාවට උත්සාහ කළේ මගේ පන්දු වලට සීමා ඉරෙන් ඉදිරියට පැමිණිලා පන්දුවට පහර දෙන්න. ඒක ගැන මම ඔළුවේ තියාගෙන හිටියා. දැවී යෑම වෙනුවෙන් යවපු පන්දුවේදීත් මම එයා කළින් එන්න හදනවා දැක්කා. ඒ අනුව මම පන්දුව පතිත කරන ස්ථානය පොඩ්ඩක් වෙනස් කරමින් පන්දුව යොමු කළා” යි බාබර් අසාම් දවා ගැනීම වෙනුවෙන් තමන් සතුව තිබූ සැලසුම පිළිබඳව අදහස් දැක්වීය. 

මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් දවා ගැනීමට සමත්ව සිටින ඇඹුල්දෙණිය මේ ක්‍රීඩා කරන්නේ සිය ටෙස්ට් තරග දිවියේ 5 වැන්නටය. රාවල්පිණ්ඩි තරගය වේග පන්දු යවන්නන්ට උචිත ලෙස හැසිරුණු බැවින් එම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඇඹුල්දෙණියට අහිමිවිය. කෙසේ වෙතත් පළමු තරගයට ක්‍රීඩා නොකොට දෙවැනි තරගයට ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීමට සමත්වීම පිළිබඳව තමන් වඩාත් සතුටට පත්වන බවද ඇඹුල්දෙණිය අදහස් දක්වා සිටියේය. 

“ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මොකද පළවැනි තරගයට ක්‍රීඩා කරන්නෙ නැතුවයි මේ තරගයට ක්‍රීඩා කළේ. ඒ නිසා හොඳ මානසිකත්වයකින් මේ තරගයට ක්‍රීඩා කරන්න හැකි වීඹ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්” යැයි ඇඹුල්දෙණිය අවසන් වශයෙන් පවසා සිටියේය. 

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest