නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (05 දා) නේපාලයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 98 ක ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්වූහ.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 192 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැංවීමට සමත්වුවත් ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 94 ක් පමණි.
නේපාල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම සඳහා පෙරමුණ ගත් පන්දු යවන්නන් අතර නිශාන් පීරිස් කැපී පෙනුණු නමුත්, ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු සහ කවිෂ්ක අංජුලද කඩුලු 2 බැගින් දවා ගනිමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ජයග්‍රාහී ගමන ඉක්මන් කිරීමට දායකත්වය දැක්වූහ.
ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ කමිඳු මෙන්ඩිස් පන්දු 54 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස් කිරීමට සමත්විය. ඔහුට අමතරව ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට සමත්වූ පිතිකරුවන් යුගලය බවට පත්වූයේ ශම්මු අශාන් (22) සහ අශේන් බණ්ඩාර (26) පමණි.
එහිදී ප්‍රථමයෙන්ම ශම්මුට එක්වූ කමිඳු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී වේගවත් ලකුණු 56 ක සම්බන්ධතාවයක්ද පස්වැනි කඩුල්ල වෙනුවෙන් අශේන් බණ්ඩාර සමඟ එක්ව පන්දු 27 කදී ලාකුණු 64 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 ආසන්නයට රැගෙන ඒමට සමත්වූහ.