slc
Home   |    News
ජනවාරි 2, 2020
ඉදිරි මාස 8 ඉවසීමෙන් ක්‍රීඩා කළ යුතුයි – ලසිත් මාලිංග

Sri Lanka Cricket

By Chamila Karawita

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉතිරිව ඇත්තේ තවත් මාස 8 ක පමණ කාලයක් බැවින්, එම කාලය ඇතුළත අත්හදා බැලීම් සිදු කිරීමේ හැකියාවක් නොමැති බව පවසන ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග වැදගත් වන්නේ ඉන්න ක්‍රීඩකයින්ට හැකිතාක් අවස්ථාව ලබා දී ලෝක කුසලාන තරගාවලිය වන විට ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීම බව අවධාරණය කර සිටියි.

විස්සයි-20 තරග 3 ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (02 දා) අළුයම ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී විස්සයි-20 නායකයා ඉහත අදහස් පළ කර සිටියේය. එම අදහස් දැක්වීමේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මාලිංග, එළැඹෙන මාස 8 ක පමණ කාලය තුළ සෑහෙන ඉවසීමකින් ක්‍රීඩා කළ යුතු බවද සඳහන් කර සිටියේය.

“ලෝක කුසලාන තරගාවලිය ගැන හිතනකොට මේක වැදගත් තරගාවලියක්. මොකද කණ්ඩායමට අලුතින් ඇවිල්ලා ඉන්න පුහුණුකරුවන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා ඒ තරගාවලියට පෙර ක්‍රීඩකයින්ට වැඩි වශයෙන් අවස්ථාව ලබා දෙන්න. මොකද ක්‍රීඩකයින් ගොඩක් අත්හදා බලන්න අපිට හැකියාවක් නෑ. ඒ නිසා ඉන්න ක්‍රීඩකයින්ට හැකිතාවක් අවස්ථාව ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා එළැඹෙන මාස 8 ක කාලය තුළ සෑහෙන්න ඉවසීමෙන් අපිට ක්‍රීඩා කරන්න වෙනවා”යි මාලිංග සඳහන් කර සිටියි.

“අපේ පළවැනි ඉලක්කය තමයි තරගාවලිය ජයග්‍රහණය කිරීම” යැයි පවසන මාලිංග, “අපි යන්නේ විස්සයි-20 අංශයේ හොඳටම කරන රටකට. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරගාවලියත් ඉන්දියාව හොඳට ක්‍රීඩා කළා. කොහොම වුණත් තරගාවලිය ජයග්‍රහණය කරන්න නම් පන්දු යවන්නන් හොඳින් පන්දු යවන්න ඕන. අපි දන්නවා විස්සයි-20 කියන්නේ පිතිකරුවන්ගේ තරග රටාවක් වුණත් තරගය වෙනස් කරන්න පුලුවන් පන්දු යවන්නන්ට. අපිට හොඳ පන්දු යවන්නන් ඉන්නවා. නමුත් ඔවුන්ට අත්දැකීම් තවමත් අඩුයි. ඒ නිසා ජයග්‍රහණය කිරීමට වඩා වැදගත් වන්නේ විස්සයි-20 තරග රටාව හඳුනගන්න එක. ඒ සඳහා අපි ක්‍රීඩකයින්ට වැඩි වැඩියෙන් අවස්ථාව ලබා දෙන්න ඕන”යැයි වැඩිදුරටත් පැවැසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රථමයෙන්ම 2007 වසරේදී ලෝකයට හඳුන්වා දීමෙන් පසු මෙතෙක් පැවැති තරගාවලි 6 න් අවස්ථා 3 කදීම අවසන් මහ තරග වරම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ. ඉන් 2014 වසරේ පැවැති තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා වූයේ මාලිංගගේ නායකත්වය යටතේදීය. විස්සයි-20 තරග අංශය යටතේ දක්වන දක්ෂතා මත ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණද අවසන් වසර කීපයේදී එතරම් ජයග්‍රහණය වාර්තා කිරීමට නොහැකිවීම මත එම ශ්‍රේණියේ 7 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකා පිල පහත බැස සිටියි.

“අපි අංක 1 හිටපු කණ්ඩායමක්. ශ්‍රේණිගත කිරීමේ පහළට වැටුණට පස්සේ එක පාරම ආයිත් අංක 1 ට එන්න අමාරුයි. ඒකට කාලයක් යනවා. විශේෂයෙන් ක්‍රීඩකයින් මේ තරග රටාව හඳුනා ගත යුතුයි” යැයි පවසන මාලිංග, ලෝක කුසලාන තරගාවලියට පෙර ලොව දක්ෂතා දක්වන කණ්ඩායමක් බවට සිය ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම අතිශය වැදගත් කමද මෙහිදී පෙන්වා දුන්නේය.

“අපි දිනපු ලෝක කුසලාන බැලුවහම පන්දු යවන්නන් තමයි ලොකු දෙයක් කරලා තියෙන්නේ. මේ තරග රටාවේ දක් 90% ක්ම රැඳී පවතින්නේ පන්දු යවන්නන්ගේ දක්ෂතා. ඒක නිසා අපිට වැදගත් වන්නේ මේ තරගවලදී යෝකර් පන්දු, වේගය අඩාල කරමින් යවන පන්දු සහ වයිඩ් යෝකර්ස් පන්දු හරියට යවන්න පුලුවන් පන්දු යවන්නන් කීප දෙනෙක් නිර්මාණය කර ගැනීම. ඒ වගේම අවශ්‍ය වෙලාවෙදි ඒ පන්දු යොමු කිරීමේ හැකියාවත් ඒ පන්දු යවන්නන් සතු විය යුතුයි. එහෙම අය හදා ගන්න නම් ඔවුන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන්න ඕන. එහෙම වුණොත් 2014 ලෝක කුසලානයේදී වගේ පන්දුව අතට දීලා බලා ඉන්න පුලුවන් පන්දු යවන්නන් හතර දෙනෙක් හදාගන්න පුලුවන්. මං හිතනවා ඒක තවම මාස 3, 4 ක් යද්දී කරගන්න පුලුවන් වෙයි කියලා”යි මාලිංග පවසයි.

නම් කරන ලද කණ්ඩායමට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද නම් කර තිබෙන අතර ඔහුට හිමි කාර්යය භාරය පිළිබඳවද මෙහිදී මාලිංග අදහස් දක්වා සිටියේය. “ඇත්තටම කණ්ඩායමේ සමබර තාවයට වඩා අපි ඇන්ජිගෙන් බලාපොරොත්තු වෙන්නේ එයාගේ අත්දැකීම්. මං හිතන්නේ ඒක කාටවත් එළියේ ඉඳන් ගන්න පුලුවන් දෙයක් නොවෙයි. ඔහු වසර ගාණක් ක්‍රීඩා කරලා ඒ වගේම තරග හසුරුවපු විදිය, කොහොමද තරගයක් අන්තිම දක්වා ඇදගෙන යන්නේ වගේ දේවල් ඔහුගෙන් ඉගෙන ගන්න පුලුවන්”.

“ඒ වගේම ළාබාල ක්‍රීඩකයින්ට තරගයක ක්‍රීඩා කරන්නේ කොහොමද කියන එක ඔහු සමඟ කතා බහ කරලා ලබාගන්න හැකියාව තියෙනවා. අපි දන්නවා ඇන්ජලෝ කොච්චර හොඳ  ක්‍රීඩකයෙක්ද කියලා. පසුගිය කාලය තුළ ඔහු විටින් විට ආබාධවලට ලක් වුණා. දැන් ඔහු සම්පූර්ණ සුවය ලබලා ඉන්නවා. පන්දු යවන්නනත් හැකියාව තියෙනවා. ඉතිං ඒක අපිට ගොඩක් හොඳ දෙයක්. මං හිතනවා ඇන්ජලෝගේ අත්දැකීම් සහ දක්ෂතාවය කියන දෙකම අපිට තරගාවලිය පුරාම ලබා ගන්න හැකි වුණොත් හොඳ දෙයක් කරගන්න පුලුවන් වෙයි කියලා”යි මාලිංග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 05 වැනිදා පළමු තරගයට ගුවාහිතිහිදී සහභාගිවීමට නියමිත අතර දෙවැන්න ලබන 07 වැනිදා ඉන්දොරේහිදීද තෙවැන්න ලබන 10 වැනිදා පුනේහිදීද පැවැත්වීමට නියමිතව තිබේ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest