slc
logo
Home   |    News
ජනවාරි 8, 2020
යොවුන් ලෝක කුසලානෙට කණ්ඩායම නම් කිරීමේදී අත්දැකීම්වලට වැඩි ඉඩක්

Sri Lanka Cricket

එළැඹෙන 17 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිල නම් කිරීමේදී අත්දැකීම් පිළිබඳව මුල් තැන ලබා දෙමින් කණ්ඩායම නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත යොවුන් කණ්ඩායමට අත්දැක්ම් බහුල ක්‍රීඩකයින් දෙපළක් වන මොහොමඩ් ශමාස් සහ තවීෂ අභිෂේක්ව එක් කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගන්නා ලද බටහිර ඉන්දීය කොදෙව් හි පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට වරම් හිමි නොවුණු වේග පන්දු යවන දිල්ශාන් මධුශංකට නම් කරන ලද කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබේ. වමත් වේග පන්දු යවන්නකු ලෙසින් කටයුතු කළ මධුශංක ඊට පෙර බංග්ලාදේශය සමඟ පැවැති තරගාවලියේදී පාදයේ ආබාධයකට ගොදුරු වූ බැවින් තුන් කොන් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවිය.

මේ අතර නම් කරන ලද කණ්ඩායමේ නායකයා ලෙස වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහලේ නිපුන් ධනංජයටම ලබාදී තිබේ. අවසන් වරට නවසීලන්තයේ පැවැති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද කණ්ඩායමේ සාමාජිකයින් අතුරින් වත්මන් කණ්ඩායමේ සිටින එකම ක්‍රීඩකයා වන්නේද නිපුන් ධනංජය පමණි. එම ලෝක කුසලාන තරගාවලිය නිමා වීමත් සමඟ නායකත්වය පිළිබඳව වැඩි අත්දැකීම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර සිටි තේරීම් කමිටුව දීර්ඝ කාලීන සැලසුමක් වශයෙන් යොවුන් කණ්ඩායමේ නායකත්වයට ධනංජයව ලබා දීමට තීරණය කළේය.

වේග පන්දු යවන්නන්ට වැඩි දායකත්වයක් ලබා දෙනු ලබන දකුණු අප්‍රිකානු තණතීරුවලදී වේග පන්දු යවන්නකු වශයෙන් මතීෂ පතිරණව එක් කිරීමට පියවර ගෙන තිබේ. එතරම් ජාත්‍යන්තර අත්දැකීම් නොමැති වුවත්, ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන පන්දු යැවීමේ ඉරියව්වකින් හෙබි මතීෂට වේගයෙන් පන්දු යැවීමට ඇති හැකියාව කණ්ඩායමට එක්වීමට අවස්ථාව වැඩි අවස්ථාවක් නිර්මාණය කර දී තිබේ. දකුණතින් වේග පන්දු යවන මතිෂ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ පැවැති එක් සිව් දින තරගයකට පමණක් ක්‍රීඩා කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිල හෙට (09 දා) පස්වරුවේදී දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සිය පළමු සටන ලබන 19 වැනිදා ආරම්භ කරන අතර ඊට ප්‍රථම පාකිස්තානය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟ පුහුණු තරග දෙකකට සහභාගිවීමට නියමිතව තිබේ.

ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන 13 වැනි ලෝක කුසලාන තරගාවලිය ලෙසින් සටහන් වන මෙවර තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පිල ඉකුත් 02 වැනිදා සිට සිව් දින නේවාසික පුහුණු සැසියකටද දඹුල්ලේදී සහභාගිවිය. මෙහිදී විවිධ පුහුණුවීම් වල මෙන්ම පුහුණු තරග කීපයකටද කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගිවිය.

තරග 48 ක් අයත් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර ප්‍රථමයෙන්ම 19 වැනිදා ඉන්දියාව සමඟත් දෙවැන්න 22 වැනිදා නවසීලන්තය සමඟත් සහ තෙවැන්න ලබන 25 වැනිදා ජපානය සමඟත් සහභාගිවීමට නියමිතය.

ටෙස්ට් තත්ත්වය හිමි රටවල් 11 ම මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර ඊට අමතරව, කැනඩාව, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නයිජීරියාව සහ ස්කොට්ලන්තය යන රටවල්ද තරගාවලිය නියෝජනය කරති. 2018 වසරේ පැවැති අවසන් යොවුක් ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වූ අතර ඔස්ට්‍රේලියාව අනුශූරතාවට පත්විය. ශ්‍රී ලංකාව එම තරගාවලිය නිමා කරන ලද්දේ 09 වැනි ස්ථානයට පත් වෙමිනි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), නවෝද් පරණවිතාන, කමිල් මිශාර, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූෂ, රවිඳු රසාන්ත, මොහොමඩ් ශමාස්, තවීෂ අභිෂේක්, චමිඳු විජේසිංහ, අෂේන් ඩැනියෙල්, දිලුම් සුධීර, කවිඳු නදීෂාන්, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, අම්ෂී ද සිල්වා.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar