slc
logo
Home   |    News
ජනවාරි 10, 2020
සැලසුම් පොදි බැදන් යොවුන් ක්‍රීඩකයෝ ලෝක කුසලානෙට පිටත්ව යති

Sri Lanka Cricket

By Chamila Karawita

පන්දුවට පහර දීමේදී ලකුණු ලබා ගැනීමට නොහැකි පන්දු හැකිතාක් අඩුකර ගැනීම කණ්ඩායමක් ලෙස යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉදිරියට යෑමට ඉතාමත් වැදගත් වන බව පවසන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් පුහුණුකරු හෂාන් තිලකරත්න, එම තරගාවලිය වෙනුවෙන් සිදුකර ඇති මූලික සැලසුම් අතර එය ප්‍රධානම සැලසුමක් වී තිබෙන බව සඳහන් කර සිටියේය.

ලබන 17 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා පිල අද (09 දා) රාත්‍රියේ පිටත්ව ගිය අතර ඊට පෙර පැවැති මාධ්‍ය හමුවේදී තිලකරත්න මහතා එසේ පවසා සිටියේය.

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගිවෙමින් එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුවද වැඩි පන්දු සංඛ්‍යාවකට ලකුණු ලබා ගැනීමට අපොහොසත් වීම සමස්ථ තරගාවලිය පුරාම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය. එම තත්ත්වය එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී කෙසේ සකසා ගැනීමට බලාපොරොත්තු වන්නේද යන්න කරන ලද ප්‍රශ්න කිරීමකදී තිලකරත්න මහතා ඉහත පිළිතුර ලබා දුන්නේය. 

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ තිලකරත්න මහතා, “ අපේ ගේම් ප්ලෑන් එකේ ප්‍රධානම කරුණ තමයි කොහොමද ඩොට් බෝල් සංඛ්‍යාව 120 ට තියාගන්නේ කියන එක. ඒ වගේම කෙටි ලකුණු120 ක් ලබා ගැනීම ගැනත් අපි ඉතාමත් ගැඹුරින් සාකච්ඡා කළා. පිතිකරු බලඇණිය හැටියට අපිට ලකුණු 120 ක් විතර තනි ලකුණුවලින් ගන්න පුලුවන් නම් අපිට ලකුණු 280 කට එහා ලකුණු සංඛ්‍යාවක් රැස් කරගන්න පුලුවන්” යැයි පවසන යොවුන් ප්‍රධාන පුහුණුකරු, “විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි, වෙස්ට් ඉන්ඩීස් වල පළවැනි ඕවර 15-20. ඒ විකට් වල පන්දුව හැසිරුණු විදියට හරිම අමාරු ලකුණු ලබා ගන්න. එතැනදී කඩුලු ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වුණා. එතැනදි කිව්වා වගේ ඩොට් බෝල සංඛ්‍යාවක් ගියා. ඒක මම පිළිගන්නවා. නමුත් මේ තරගාවලිය තුළ මං හිතන්නේ තණතීරුවල ස්වභාවය හොඳනම් අපිට ලේසියෙන් ලකුණු අතරට එන්න පුලුවන්”යි සිය කණ්ඩායමේ විශ්වාසවන්ත භාවය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වීය. 

මේ අතර සිව් දින තරගයකට පමණක් ක්‍රීඩා කරන ලද වේග පන්දු යවන මතීෂ පතිරණව ලෝක කුසලාන තරගාවලියට රැගෙන යෑමට ගත් තීරණය පිළිබඳව කරුණු පැහැදිළි කර සිටි තිලකරත්න මහතා, “ඇත්තටම එයා තවමත් සිව්දින තරගයකට විතරයි ක්‍රීඩා කළේ. ඒ බංග්ලාදේශ තරග සංචාරයේදී. ඒ තරගයේදී තරගයේ වීරයා වුණේ මතීෂ. ඇත්තටම අපි ඔහුව එක්දින තරගවලට සහභාගි කෙරු‍වේ නැත්තේ ලෝක කුසලාන තරගාවලියට යොමු කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. මොකද ඔහු ගැන, ඔහුගේ පන්දු යැවීම ගැන කිසිම රටක් දන්නේ නැති නිසා. ඔහුව කවුරුත් දැකලා නෑ”යනුවෙනි. 

මතීෂ පතිරණ යනු ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට වඩා සමාන ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙකි. පාසල් මට්ටමේ වුවද පැයට කිලෝ මීටර 130 කට ආසන්න වේගයකින් පන්දු යැවීමේ හැකියාව මතීෂ සතුව පවතින්නේය. 

මේ අතර මෙම මාධ්‍ය හමුවට සහභාගවුණු යොවුන් කණ්ඩායමේ නායක නිපුන් ධනංජයද අදහස් දක්වමින් සඳහන් කර සිටියේය, සියළුම සාමාජිකයින්ගේ දායකත්වය එකවට හිමි වුවහොත් ලෝක කුසලානය ජය ගැනීමේ හැකියාව පවතින බව සඳහන් කර සිටියේය. “අපේ ශක්තිය ගැන අපි හැමෝම හොඳින්ම දන්නවා. ඒ වගේම අපි ගාව හොඳ සැලසුම් තියෙනවා. හැම කෙනෙකුටම නියමිත වගකීමක් තියෙනවා. ඒ වගේ තමන්ගේ වගකීම සියළු දෙනාම එක තැනකට ගෙන්න සමත් වුණොත් අපිට වර්ල්ඩ් කප් එක දිනන්න පුලුවන්” යි පවසා සිටියේය.

සංචාරක කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර නිලධාරීන් 9 දෙනෙකුද සංචාරයට සහභාගිවෙති. ශ්‍රී ලංකා පිල යොවුන් ලෝක කුසලාන සටන මෙම මස 19 වැනිදා ඉන්දියාවට එරෙහිව බ්ලූම්ෆොන්ටන්හිදී ආරම්භ කරන අතර ඊට පෙර 12 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිද 14 වැනිදා පාකිස්තානයට එරෙහිවද පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිතය. මූලික වටය යටතේ ශ්‍රී ලංකා යොවුන් පිල ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. සමස්ථ තරග 48 ක් පැවැත්වෙන මෙවර තරගාවලියේ දෙවැනි තරගයට ලබන 22 වැනිදා නවසීලන්තය සමඟත් සහ තෙවැන්න ලබන 25 වැනිදා ජපානය සමඟත් සහභාගිවීමට නියමිතය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), නවෝද් පරණවිතාන, කමිල් මිශාර, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූෂ, රවිඳු රසාන්ත, මොහොමඩ් ශමාස්, තවීෂ අභිෂේක්, චමිඳු විජේසිංහ, අෂේන් ඩැනියෙල්, දිලුම් සුධීර, කවිඳු නදීෂාන්, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, අම්ෂී ද සිල්වා. 

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar