slc
logo
Home   |    News
ජනවාරි 7, 2020
පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

Sri Lanka Cricket

පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ ඉන්දොරේ තණතීරුවේදී වඩාත් උපක්‍රමශීලීව පන්දු යැවීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්වීම නිසා සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 7 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස අද (07 දා) පෙරමුණ ගත්හ.

ඉන්දොරේහි පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක පහසු ඉලක්කයක් හඹා යෑම ඇරඹූ ඉන්දීය ආරම්භක පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 71 ක් එක් කරමින් සාර්ථක අඩිතාලමක් එක් කළහ. එහෙත් ලකුණු 15 ක් ඇතුළත ආරම්භක පිතිකරුවන් යුගලය වූ රාහුල් සහ ශිකරා ධවාන්ව දවා ගැනීමට වනිඳු හසරංග සමත්වීම ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු තරමක් ඉහළ යන්නක් බවට පත්විය.

එක දිගටම ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීම සඳහා පා දඟ පන්දු වැළක් යැවූ හසරංග තම උගුලට රාහුල්ව හිරකරගන්නා ලද්දේ ගුගුලි පන්දුවක් යොමු කිරීමෙනි. යොමු කරන ලද පා දඟ පන්දු වලට දිගින් දිගටම ලකුණු ලබා ගැනීමට නොහැකි වූ රාහුල් සීමා ඉදිරියෙන් ඉදිරියට පිවිසියේ පා දඟ පන්දුවට පහරක් එල්ල කිරීමටය. එහෙත් එවර වනිඳු විසින් යොමු කරන ලද්දේ ගුග්ලි පන්දුවක් බැවින් එය රාහුල්ගේ පිත්ත පරයා යමින් කඩුල්ලේ දැවටිණ.

දෙවැනි ගොදුරු වූ ශිකරා ධවාන් කඩුල්ලේ මුවා කිරීමේ වරදට හසුවූයේ ලකුණු 32 ක් ලබා සිටියදීය. එල්ල කර ලද ස්වීප් පහර පා ආවරණයේ වැදීම මත කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර හිමි නොවුණු හෙයින් එය තෙවැනි විනිසුරුගේ විමසීම දක්වා යොමු කිරීමට මාලිංග තීරණය කළේය. එහිදී පන්දුව පැහැදිළිවම කඩුල්ලේ වදින බවට පුණරූපණවල සටහන් වූයෙන් ප්‍රධාන විනිසුරුගේ තීරණය අකමැත්තෙන් හෝ වෙනස් කොට ධවාන්ව දැවී ගිය පිතිකරුවකු ලෙසින් නම් කෙරිණ. මොවුන් දෙපළ අතරින් තරමක් ප්‍රහාරාත්මක වූ කේ.එල්. රාහුල් පන්දු 32 කදී ලකුණු 45 ක් රැස් කරගත්තේය.

ආරම්භක පිතිකරුවන් ක්‍රීඩාගාරයේ අසුන් ගත්තද ශ්‍රී ලංකා බලාපොරොත්තු වලට ඉඩ ලබා නොදුන් කායක විරාට් කෝලි සය ශ්‍රෙයාස් අයියර් ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වුවත් ජයග්‍රහණයට ලකුණු 5 ක තිබියදී පන්දු 26 කදී ලකුණු 34 ක් ලබා ගත් අයියර් දවා ගැනීමට ළහිරු කුමාර සමත්විය. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය 17 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී සනාථ වන නායක කෝලි පන්දු 17 කදී ලකුණු 30 ක්ද රිෂාබ් පාන්ට් පන්දුවකදී ලකුණක්ද ලබා සිටියහ.

ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි ආරම්භක පිතිකරුවන් පන්දු 29 කදී ලකුණු 38 ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් කිරීමට සමත්වූහ. කුසල් පෙරේරා (34) හැරුණු කොට සෙසු එකම පිතිකරුවකුට දීර්ඝ ඉනිම කරා යෑමට නොහැකි වීම මීට වඩා ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩ ඇහුරුණු කරුණු අතර ප්‍රධාන විය. මෙයට ඉන්දීය පන්දු යවන්නන්ගේ ඉලක්ක ගත පන්දු යැවීමද ඒ සඳහා දැඩි රුකුලක් ගෙන දුන්නේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කුසල් පෙරේරාගේ සංයමය බිඳී නොයන්නට ශ්‍රී ලංකා ලකුණු පුවරුව මීට වඩා ඉහළ ස්ථානයකට යෑමට හොඳින්ම අවකාශ තිබිණ. කුල්දීප් යාදව් ගේ පන්දුවකට රිවර් ස්වීප් පහරක් එල්ල කරමින් ලකුණු 6 ක් රැස් කර ගත් කුසල් ඊළඟ පන්දුවට සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහරක් එල්ල කළේය. එහෙත් නොසිතූ දඟ කැවීමක් එම පන්දුවට මුසුව තිබූ බැවින් එල්ල කරන ලද පහර හතරේ සීමාවට ඉක්මවා යනවා වෙනුවට එය ලෝන් ඕෆ් හි පන්දු රැකි ශිකර් ධවාන්ගේ දෑත් අතර සිරවිය. මුහුණ දුන් 28 වැනි පන්දුවේදී කුසල් දැවී යන විට සිය ඉනිම හයේ පහර 3 කින් පමණක් අලංකාරව තිබිණ.

එතැන් පටන් ඉන්දීය පන්දු යවන්නන්ගේ ග්‍රහණයට ශ්‍රී ලංකා පිතිකරුවන් නතුවීම හැරුණු කොට වෙනත් කැපී පෙනෙන සිදුවීම් වූයේ නම් ඒ කඩුලු දැවී යෑම පමණි. ශ්‍රී ලංකා ඉනිමේ 19 වැනි පන්දුවාරය ආරම්භයට පෙර  ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 127 ක් ලෙස සටහන් වූ නමුත් එම පන්දු වාරය යැවූ ශර්දූල් තාකූර් පන්දු 5 ක් ඇතුළත පිතිකරුවන් තිදෙනකු දවා ගැනීමට සමත්වීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. දැවී ගිය පිතිකරුවන් තිදෙනා අතර ධනංජය ද සිල්වා (17), ඉසුරු උදාන (00)  සහ ලසිත් මාලිංග  පසුවූ අතර උදාන සහ මාලිංග අවසන් පන්දු 2 දී පිට පිටම දැවී ගියහ.

අවසන් කඩුල්ලේ පීඩනයද කර පින්නාගෙන ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නා වූ ජස්ප්‍රිට් මුම්බරා යවන ලද අවසන් පන්දුවාරයට අවතීර්ණ වූ වනිඳු හසරංග අවසන් පන්දු 3 ට හතරේ පහර 4 ක් එල්ල කරමික් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 142 ක් කරා රැගෙන යන ලද්දේ දැවී ගිය කඩුලු සංඛ්‍යාව 9 ම රඳවා තබා ගනිමිනි.

උදාවූ නව වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම පන්දුවට මුහුණ දුන්නේ ධනුෂ්ක ගුණතිලක වුවත් ප්‍රථම ලකුණු වාර්තා කරන ලද්දේ අවිශ්ක ප්‍රනාන්දුගේ පිත්තෙනි. ඉන්දීය ඉනිමේ ආරම්භක පන්දුව යැවූ ජස්ප්‍රිට් බුම්රාගේ පළමු පන්දුව වයිඩ් පන්දුවක් ලෙසින් ඇදී ගිය අතර එය කඩුලු රකින රිෂාබ් පාන්ට් අතින් ගිලිහී යෑමෙන් ලකුණක් කරා පිතිකරුවන් පැති හුවමාරු කර ගැනීම ඊට හේතු විය.

මුහුණ දුන් පළමු පන්දුවටම අලංකාර කවර් ඩ්‍රයිව් සිය ලකුණු ලබා ගැන්ම ඇරඹූ දකුණත් පිතිකරුවා ඉනිමේ පළමු පිතිකරු ලෙසින් දැවී යන ලද්දේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට ගන්නා ලද උත්සාහයේදීය. වොෂිංටන් සුන්දර්ගේ පන්දුවකට මිඩ් ඕෆ් හි පන්දු රැකි නව්දීප් සානි අතට උඩ පන්දුවක් දී අවිශ්ක දැවී යන විට ලකුණු 22 ක් ලබා සිටියේය. පන්දු 16 කට පමණක් මුහුණ දුන් අවිශ්ක ලබාගත් ලකුණු 22 න් 20 ක්ම හතරේ පහර වලින් ලබා ගත් ලකුණු විය.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය දෙවැනි පිතිකරුවා වූයේ ධනුෂ්ක ගුණතිලකය. වොෂිංටන් සුන්දර විසින් එවන ලද පැයට කිලෝ මීටර 147. 5 ක වේගවත් පන්දුව පිත්ත පරාජයට පත් කරමින් කෙළින්ම කඩුල්ල සොයා ඇදී යන විට ධනුෂ්කගේ නම ඉදිරියෙන් ලකුණු 21 ක් සටහන්ව තිබුණ.

ඉන්දියාවේ නවතම සොයා ගැනීම වන නව්දීප් සානි අද දිනයේදී පැයට කිලෝ මීටර 150 කට වැඩි වේගයකින් පන්දු යැවීමට සමත්වීම වැඩි අවධානයක් යොමුවුණු සිදුවීමක් බවට පත්විය. ඉන්දීය කණ්ඩායමේ අත්දැකීම් වැඩිම පන්දු යවන්නන් වූ බුම්රා සහ කුල්දීප් යාදව්ට ලකුණු 30 සීමාව ඉක්මවාලමින් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු ලබා ගැනීමට සමත් වද්දී  අත්දැකීම් රහිත පන්දු යවන්නන් වූ ශර්දුල් තාකූර්, සයිනි සහ සුන්දර් සිය වගකීම අකුරටම ඉටු කිරීමට සමත්වීම විශේෂත්වයක් විය. මෙහිදී කැපී පෙනුණු ශාර්දුල් තාකූර් ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගනිද්දී සයිනි ලකුණු 18 කට කඩුලු 2 ක් බිඳ හෙලූහ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee