slc
logo
Home   |    News
ජනවාරි 5, 2020
පළමු විස්සයි-20 වැස්සට දිය වෙයි

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ගුවාතිදී අද (05 දා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු විස්සයි-20 තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක විරාත් කෝලි දිනා ගනිමින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නද තරග ආරම්භයට පෙර ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය. 

ප.ව. 7 ට ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගය ආරම්භ කිරීම ප්‍රධාන විනිසුරුවරුන් වූ චෙතිතොඩි ශාම්ශුඩීන් සහ නිටින් මෙනන් අවස්ථා කීපයකම ක්‍රීඩාංගණයට පැමිණියද ප්‍රධාන තණතීරුවෙහි ස්ථාන කීපයක තෙත් ස්වභාවයක් ගෙන තිබීම හේතුවෙන් අවම වශයෙන් පන්දුවාර 5 ක තරගයක් ලෙසින් හෝ පැවැත්වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර සිටියහ. 

ඒ අනුව පන්දුවාර 5 ක තරගයක් ලෙසින් පැවැත්වීමට නම් අවම වශයෙන් තරගය ප.ව. 9.46 ට ආරම්භ කිරීමට නියමිත වූ අතර එහි අවසන් තීරණය ප.ව. 9.30 ට ගැනීමට නියමිතව තිබුණි. එම අවස්ථාවේදී ක්‍රීඩාංගණයට පැමිණී විනිසුරුවරුන්ට තරගය ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බව වැටහී යෑම නිසා ප.ව. 9.55 පමණ වන විට තරගය අත්හැර දැමීමට තීරණය කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියහ.  

කෙසේ වෙතත් තරගය ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ඉන්දීය නායක විරාත් කෝලි මෙන්ම එම කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි ද ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතර ඔවුහු ප්‍රධාන විනිසුරුවන් දෙපළ සමඟ සාකච්ඡාවක නිරත වනු දැක ගත හැකි විය.

මෙම තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව ඇතුළත් කිරීමට පියවර ගෙන නොමැති අතර කුසල් මෙන්ඩිස්ට ද සිය ස්ථානය අහිමිව තිබීම කැපී පෙනුණි.

අද තරගය නැරඹීම සඳහා ගුවාති ක්‍රීඩාංගණය වෙත 50,000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් පැමිණ තිබුණත් ඔවුන්ට හිස් අතින් නිවෙස් බලා යෑමට සිදුවීමද කණගාටුදායක සිදුවීමක් බවට පත්විය. දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි තරගය තව දින 2 කින් හෙවත් ලබන 07 වැනිදා ඉන්දොරේහිදී පැවැත්වෙන හෙයින් කණ්ඩායම් දෙකම හෙට දිනයේදී ඉන්දොරේ බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. අවිශ්ක ප්‍රනාන්දු, 2. ධනුෂ්ක ගුණතිලක,3. කුසල් පෙරේරා, 4. ඕෂධ ප්‍රනාන්දු, 5. භානුක රාජපක්ෂ, 6. ධනංජය ද සිල්වා, 7. දසුන් ශානක, 8. ඉසුරු උදාන, 9. වනිඳු හසරංග, 10. ලසිත් මාලිංග (නායක), 11. ළහිරු කුමාර. 

ඉන්දියානු කණ්ඩායම – 1. ලෝකේෂ් රාහුල්, 2. ශිකර් ධවාන්, 3. විරාට් කෝලි (නායක), 4. ශ්‍රෙයාස් අයියර්, 5. රිෂාබ් පාන්ට්, 6. ශිවම් ඩූබ්, 7. වොෂිංටන් සුන්දර්, 8. කුල්දීප් යාදව්, 9. ශර්දුල් ඨාකූර්, 10. නව්දීප් සානි, 11. ජස්ප්‍රිට් බුම්රා. 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee