slc
logo
Home   |    News
පෙබරවාරි 6, 2020
අංක වැඩක් නෑ, දක්ෂතායි වැදගත් – චමරි අතපත්තු

sinhala editor

By Chamila Karawita

විස්සයි-20 තරග අංශය යනු ඕනෑම කණ්ඩායමකට විවෘත තරග අංශයක් බවත්, ශ්‍රේණිගත කිරීම්හි අංක වල කිසිදු වටිනාකමක් නොමැති බවත් පවසන වත්මන් කාන්තා විස්සයි-20 පිලේ නායිකා චමරි අතපත්තු සියලු දේ රඳා පවතිනුයේ එදා දිනයේ කණ්ඩායමක් ලෙස දක්වන දක්ෂතා මත පදනම්ව බව සඳහන් කර සිටියි.

පෙබරවාරි 21 වැනිදා ඔස්ට්‍රේලියාවේ ආරම්භ වන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (06 දා) පස්වරුවේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා විස්සයි-20 නායිකාව එම අදහස් පළ කර සිටියාය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩය යටතේ සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටය යටතේ ප්‍රබල ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ තරග වැදීමට නියමිතව තිබෙන නමුත්, ශ්‍රී ලංකා නායිකාව පවසන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තමන් ඇතුළු කණ්ඩායමට විශේෂ දෙයක් සිදුකළ හැකි බව විශ්වාසයක් තිබෙන බවයි.

“මම 2009 දී තමයි ජාතික කණ්ඩායමට ආවේ. ඒ ඇවිල්ලා අපිට 2016 දී විතරයි අර්ධ අවසන් පූර්ව තරග වටය දක්වා එන්න පුලුවන් වුණේ. ඒ තරගාවලියෙදිත් අපි 5 වැනි ස්ථානයට ආවා. මේ තරගාවලියේදීත් අපිට ක්‍රීඩා කරන්න වෙලා තියෙන්නේ අමාරු කණ්ඩායම් 4 ක් එක්ක. ඒ නිසා මේ තරගාවලියේදීත් උඩ කණ්ඩායම් 4 ට එන එක අභියෝගයක්. අපිට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව වගේම බංග්ලාදේශය සමඟ තරග වැදීමට සිදුවෙනවා”.

“ඒත් මම විශ්වාස කරන්නේ විස්සයි-20 තරග අංශය ගත්තහම ඕනෑම කණ්ඩායමකට විවෘතයි කියලා. එදා දවසේ කණ්ඩායම දක්වන දක්ෂතා එක්ක තමයි ඉදිරියට යෑම තීරණය වන්නේ. විශේෂයෙන්ම ක්‍රීඩිකාවෝ දෙන්නෙක්ට මේ වගේ තරගයක් වෙනස් කරන්න පුලුවන්. පන්දු යවන්නියක් විදියටත් පිතිකාරිණියක් විදියටත්. දවසේ දක්වන දස්කම් මත ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒ නිසා ශ්‍රේණිගත කිරීම් කියන්නේ මට නම් අංකයක් විතරයි” යැයි අතපත්තු පවසන්නීය.

ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන සටන නවසීලන්තයට එරෙහිව ලබන 22 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර ඊට පෙර දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිතව තිබේ. එම පුහුණු තරග ලබන 16 සහ 18 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබුණද දින 10 කට පමණ කාලයකට පෙර ශ්‍රි ලංකා පිල ඔස්ට්‍රේලියාව බලා යෑමට ඉඩ පහස වෙන්කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදන ලද්දේ ඔස්ට්‍රේලියානු තණතීරුව සහ එහි දේශගුණික තත්ත්වයන්ට හුරුවීම සඳහා වැඩි අවස්ථාවක් සලසාලීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

 “මට නම් ශ්‍රේණිගත කිරීම් කියන්නේ නොම්බරයක් විතරයි. අපි ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි හෝ 8 වැනි ස්ථානවල ඉන්නවද ඔස්ට්‍රේලියාව නොම්බර  1 ඉන්නවද කියන එක වැඩක් නෑ. එදා දවසේ කණ්ඩායමක් විදියට කොහොමද දක්ෂතා දක්වන්නේ කියන එක තමයි වැදගත් වන්නේ. එහෙම වුණොත් අපිට කණ්ඩායමක් විදියට මේ තරගාවලියේ ගොඩක් ඉදිරියට යෑමේ හැකියාව පවතිනවා යැයි විශ්වාස කරනවා”යි චමරි අතපත්තු පැවැසුවාය.

වත්මන් කණ්ඩායම සතු අත්දැකීම් බහුලම ක්‍රීඩිකාව වන හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන මෙම තරගාවලියෙන් පසු තම ජාත්‍යන්තර තරග දිවියට සමුදෙන අතර ඇයට අමතරව තවත් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම විශ්‍රාම යෑමේ අරමුණින් පසුවන බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ඒ පිළිබඳව අදහස් දක්වා සිටි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ධ සිල්වා මහතා, “ශෂිකලා මේ තරගාලියෙන් පස්සේ සමුගන්නා බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මේ සංචාරය කණ්ඩායමේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කීප දෙනෙක්ගේම අවසන් සංචාරය වෙන්න පුලුවන්. ඒ නිසා තරුණ ක්‍රීඩිකාවන්ට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමඟ තරග කරන්න අවස්ථාව ලබා දීම ගොඩක් වැදගත්. ඒ සියල්ල පිළිබඳව සලකා බලලා මේ සංචාරය සඳහා ඉදිරිය ගැන හිතල කණ්ඩායම නම් කරන්න කටයුතු කළා. පසුගිය මාස 6 ක පමණ කාලයේදී දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩිකාවන් කීප දෙනෙක්ම අපි කණ්ඩායමට ඇතුළත් කළේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව සැලසීම වෙනුවෙන්” යි සඳහන් කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල අනුග්‍රාහක ආයතනය ලෙසින් කටයුතු කරන MAS ආයතනය විසින් ලෝක කුසලාන තරගාවලියේදී කාන්තා පිල භාවිතයට ගනු ලබන නිල ටීෂර්ටය එළිදැක්වීමද සිදු කෙරිණ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතාද එක්ව සිටියේය. ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ තීරයට එක්කාසු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය, නවීණ තාක්ෂණය භාවිතයෙන් ප්‍රතිචක්‍රීකරණය කරමින් මෙම ටීෂර්ටය නිෂ්පාදනය කර තිබීම කැපී පෙනෙයි.

මීට අමතරව කාන්තාවන් සවි බල ගැන්වීම වෙනුවෙන් MAS ආයතනය දියත් කොට ඇති “Go Beyond”  වැඩ සටන යටතේ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට පරිබාහිර වන කුසලතා වර්ධනය කිරීම කෙරෙහිද වැඩපිළිවෙළක් දියත් කර තිබේ. එමෙන්ම MAS ආයතනය විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන කාන්තා කණ්ඩායමට දිරිය දීමේ වැඩසටනක්ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ශ්‍රී ලංකා විස්සයි-20 කාන්තා පිල – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), අනුෂ්කා සංජීවනී, ශෂිකලා සිරිවර්දන, හංසිමා කරුණාරත්න, අමා කාංචනා, නිලක්ෂි ද සිල්වා, උදේශිකා ප්‍රබෝධනී, කවීෂා දිල්හාරි, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමාෂනී, සුරංගිකා කුමාරි, ඩිලානි මනෝදරා.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee