slc
logo
Home   |    News
පෙබරවාරි 19, 2020
කොදෙව් සටනෙන් ධනුෂ්ක ගුණතිලක හැළෙයි

Sri Lanka Cricket

By Chamila Karawita

පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරනලද එක්දින තරගාවලියේ ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරන ලද ධනුෂ්ක ගුණතිලකට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එළැඹෙන 22 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට අවස්ථාව අහිමිව තිබේ. තුනටිය ප්‍රදේශයේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය තවමත් සුව අතට පත් නොවීම ඊට හේතු වී තිබේ.

ධනුෂ්කට අමතරව අවසන් වරට පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී නායකයා ලෙසින් කටයුතු කරන ලද ළහිරු තිරිමාන්නට 15 දෙනා අතර ස්ථානයක් හිමි නොවීම කැපී පෙනෙයි. පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ඇතුළත් නොවුණු බැවින් ඔවුන් සියල්ල මෙම තරගාවලිය සඳහා ඇතුළත්ව සිටීම උක්ත තත්ත්වයට හේතු වී තිබේ.

ඒ අනුව පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ තිරිමාන්න සහ ගුණතිලක ඇතුළු ක්‍රීඩකයින් 7 දෙනෙකුට මෙම තරගාවලියේදී සිය ස්ථානය අහිමිව තිබේ. ඕෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා සහ කසුන් රජිතට නම් කරන ලද කණ්ඩායමෙන් ඉවත් කොට ඇති ක්‍රීඩකයෝ වෙති.

නම් කරන ලද එක්දින කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් තිසර පෙරේරා, දසුන් ශානක සහ ඉසුරු උදාන ඇතුළත්ව සිටින අතර දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් වනිඳු හසරංග ඇතුළත්ව සිටි. නම් කරන ලද 15 දෙනා අතර පිතිකරුවකු ලෙසින් ධනංජය ද සිල්වා ඇතුළත්ව සිටින අතර ඔහුවද පන්දු යවන්නකු ලෙස භාවිතා කිරීමට හැකිවීම කණ්ඩායම තේරීම තේරීම් කමිටුවට පහසු කරවන්නක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා එක්දින පිල – දිමුත් කරුණාරත්න (නායක),  අවිශ්ක ප්‍රනාන්දු,  කුසල් පෙරේරා,  ෂෙහාන් ජයසූරිය,  නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර.

ඇතුළට – දිමුත් කරුණාරත්න,  කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා.

ඉවතට – ළහිරු තිරිමාන්න, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, කසුන් රජිත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest