slc
logo
Home   |    News
අගෝස්තු 13, 2020
ක්‍රිකට් යළි ඇරැඹීම ගැන මැතිව්ස්ගේ අදහස

Sri Lanka Cricket

By Chamila Karawita

කොවිඩ් වසංගත තත්ත්වයට තවමත් ස්ථීර විසඳුමක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන පසුබිමකදී සෞඛ්‍ය පුරුදු සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ පවත්වාගෙන යෑම හැර වෙන කිසි විකල්පයක් හෝ ආදේශකයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අවධාරණය කර සිටියි.

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මාස 5 කට අධික කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. අවස්ථා කීපයකදීම දේශීය තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කෙරුණද වෛරස් තත්ත්වයේ භයානකත්වය හේතුවෙන් ඒ සෑම අවස්ථාවකදීම තරගාවලිය කල් දැමිණ. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙරට ක්‍රිකට් පිටියට යළි ක්‍රිකට් අසිරිය කැඳවමින් අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබූ අතර එහි වැදගත් භාවය පෙන්වා දෙමින් හිටපු නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

“මුළු ලෝකයටම කොවිඩ් වසංගතය බලපාලා තිබුණත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යනවා වෙනුවට මෙයට කිසිම විකල්පයක් හෝ ආදේශකයක් නෑ. තරගාවලිය ආරම්භ කරපු එක ඉතාමත් හොඳයි. අපිට යළිත් සුපුරුදු ශෛල්‍යයට එන්න මේක හොඳ අවස්ථාවක්” යැයි පවසන මැතිව්ස් වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටියේය.

“මං හිතන්නේ රටක් විදියට අපේ රජය ඉතාමත් හොඳට මේ වසංගත තත්ත්වය පාලනය කරලා තියෙනවා. නැත්නම් මේ වගේ ඉක්මනට අපිට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. හුඟක් රටවල් තවමත් පටන් අරගෙන නෑ. ඒක නිසා අපි ඒ පිළිබඳව සංතෝෂ වෙනවා මෙන්ම රජයට, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය අංශ මෙන්ම මේ සඳහා කැප වුණු සියළු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. මොකද අපි හැමෝගෙම ජීවිත යථා තත්ත්වයට පත් කරගන්න පුලුවන් වුණේ මේ තත්ත්වය හොඳින් පාලනය කරපු නිසයි” යනුවෙනි.

කොවිඩ් වසංගතය නිසා ගෙවී ගිය මාස 5 ක කාලයෙන් වැඩි කොටසක් ගෙවා දැමීමට සිදුවූයේ ඒ ඒ ක්‍රීඩකයින්ට තනිවම සිදුකිරීමට නියමිත වුණු ශාරීරික අභ්‍යාස වල පමණි. එහෙත් අවසන් මාස එකහමාරක පමණ කාලය ඇතුළතදී ජාතික සංචිතය සඳහා විශේෂ පුහුණු සැසි කීපයක්ම පැවැත්වීමට ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කටයුතු යොදන ලදී.

එහෙත් මැතිව්ස් සඳහන් කර සිටින්නේ ක්‍රීඩා කිරීම සහ පුහුණුවීම් යනු පරස්පරතාවයකින් යුත්තක් බවයි. “තරගාවලියකට ක්‍රීඩා කිරීම ඉතාම හොඳයි. තරගවලට ක්‍රීඩා කරනවා කියන දේ කිසිම දේකට ආදේශ කරන්න බෑ. ක්‍රීඩාව කියන්නේ එක දෙයක්. පුහුණුවීම් කියන්න වෙනමම දෙයක්. ඒ වගේ ක්‍රීඩා කරනවා කියන්නේ ඉතාමත් වැදගත් දෙයක් ඊළඟ තරගාවලිය සදහා සූදානම් වෙන්න. මොකද එහෙම ක්‍රීඩා කළොත් තමයි අපි ඉදිරි තරගාවලිවලදී, විශේෂයන්ම බංග්ලාදේශය, ඉන්දියාව හෝ කවුරුන් වේවා හොඳ සූදානමකින් ඉන්න පුලුවන්. ඒකට හොඳ අඩිතාලමක් මේ තරගාවලිය. ක්‍රීඩකයින් වශයෙන් මේ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගත යුතුයි” යැයි මැතිව්ස් පවසයි.

මෙම තරගයට පෙර මැතිව්ස් ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඉකුත් මාර්තු මසදී පැවැති විස්සයි-20 තරගයටය. එම තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු නැවතත් ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කිරීම සඳහා මැතිව්ස් පිටියට පිවිසන ලද්දේ ඉකුත් 10 වැනිදා සැරසන්ස් පිලට එරෙහිව ඕවල් පිටියේදී ඇරැඹි තුන්දින තරගයට වේ.

ඒ අනුව මැතිව්ස් තම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ලද්දේ වසර 7 කට පමණ කාලයකින් වීමද විශේෂත්වයකි.  කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන මැතිව්ස් එම තරගයේදී ලකුණු 173 ක් ලබා ගනිමින් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ මෙතෙක් වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවා බවට පත්වීමට සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 අංශ 3 ම නියෝජනය කරනු ලබන මැතිව්ස් මේ වන විට කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වේ. ටෙස්ට් තරග 86 කට සහ එක්දින තරග 217 කට ක්‍රීඩා කර ඇති මැතිව්ස් එම අංශ 2 න්ම ලකුණු 6000 කඩඉම (ටෙස්ට් 5981යි – එක්දින 5830 යි) අසලටම පැමිණ සිටියි. කුමාර් සංගක්කාරට පසු ටෙස්ට් සහ එක්දින දෙඅංශයේම ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 41 කට වඩා ඉහළ අගයක් පවත්වාගෙන යෑමට සමත් එකම පිතිකරුවා වන්නේද ඇන්ජලෝ මැතිව්ස් වේ. ටෙස්ට් ශතක 10 කට සහ එක්දින ශතක 3 කට උරුමකම් කියන මැතැව්ස්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය 45.31 ක් සහ එක්දින සාමාන්‍ය 41.94 ක් ලෙසින් සටහන් වේ.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar