slc
logo
Home   |    News
ජූනි 19, 2026
ඇෆ්ගනිස්තානයට එරෙහි දැවැන්ත ජයකින් ශ්‍රී ලංකා ‘ඒ’ අවසන් සටනට

sinhala editor

අවිශ්ක ප්‍රනාන්දුගේ සංයමයෙන් හා විශ්වාසයෙන් පිරුණු ශතකයත් දුලාජ් සමුදිත කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීමත් ප්‍රධාන කොට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව ලකුණු 103 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට අද (19 දා) හැකියාව ලැබිණ.

ඒ අනුව, මේ මස 21 වැනිදා ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අවස්ථාව උදාකරගත්හ.

අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීමට නම් ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායමට අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 323ක ඉලක්කය පන්දුවාර 29.3ක් ඇතුළත හඹා යා යුතු වූ නමුත්, දුලාජ් සමුදිත ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එය සිහිනයක් බවට පත්විිය. අවසානයේ ඔවුන්ට පන්දුවාර 42.5 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 219 ක් පමණි.

ලකුණු 323ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායමට ඉනිමේ ආරම්භයම දැඩි පසුබෑමකින් යුක්ත විය. දුලාජ් සමුදිතගේ තියුණු පන්දු යැවීම හමුවේ නායක ඉම්රාන් මිර් සහ නූර් උල් රහ්මාන් ලකුණු 2ක් තුළ දැවී යාමෙන් ඇෆ්ගනිස්තානය දැඩි අසීරුතාවකට පත් විය.

ඉන් අනතුරුව හසන් ඊසාඛිල් ලකුණු 74ක් රැස් කරමින් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළ අතර, බහීර් ෂා (35) සහ ෆර්මානුල්ලා (43) ඔහුට සහාය දුන්හ. කෙසේ වෙතත්, ලකුණු 142කට කඩුලු 5ක් ලෙස සිටි ඇෆ්ගනිස්තාන ඉනිම කුගතාස් මාතුලන් සහ දුලාජ් සමුදිතගේ දක්ෂ පන්දු යැවීම හමුවේ වේගයෙන් කඩා වැටුණි. ලකුණු 147 සිට 149 දක්වා යන අතරතුර කඩුලු දෙකක් අහිමි වූ ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 77ක් තුළ අහිමි වියි.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් දුලාජ් සමුදිත පන්දුවාර 6.5කදී ලකුණු 25කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ පන්දු යැවීමේ කැපී පෙනෙන දස්කම වාර්තා  කළේය. කුගතාස් මාතුලන් ලකුණු 38කට කඩුලු 3ක් බිඳ හෙළූ අතර, රවිඳු ප්‍රනාන්දු සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිමට මෙතරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා ළඟාවීමට මූලික පදනම වැටුණේ දික්වැල්ල සහ අවිශ්ක අතර ගොඩනැගුණු ආරම්භක සම්බන්ධතාව මතය. පළමු පන්දුවාර කිහිපයේදීම ඇෆ්ගන් පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කළ දික්වැල්ල, පිටියේ සෑම අංශයකටම පහර එල්ල කරමින් ලකුණු ලබාගත් අතර ඔහුගේ වේගවත් ලකුණු 66 ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. පන්දු 54කින් ගොඩනැගුණු එම ඉනිම හතරේ පහර 12කින් අලංකාර විය.

අනෙක් අන්තයේ සිටි අවිශ්ක ප්‍රනාන්දු ඉනිම ගොඩනැගීමේ කාර්යභාරය භාරගත් අතර පසුව ක්‍රමයෙන් වේගය වැඩි කරමින් ඇෆ්ගන් පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. විශිෂ්ට පහරවල් රැසකින් සමන්විත වූ ඔහුගේ ලකුණු 110, මෙම තරගයේ කැපී පෙනෙනම ඉනිම බවට පත්විය. පන්දු 97කින් වාර්තා වූ එම ශතකයට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ආරම්භක සම්බන්ධතාවෙන් ගොඩනැගුණු ශක්තිමත් පදනම මත ඉනිම ඉදිරියට ගෙන ගිය නුවන්දු ප්‍රනාන්දු ලකුණු 45ක් රැස් කරමින් අවිශ්කට අනගි සහයක් ලබා දුන්නේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මැද පෙළේදී වේගවත් ලකුණු රැස්කිරීමක් දක්නට නොලැබුණු අතර සධීර සමරවික්‍රම (14), සහන් ආරච්චිගේ (12) සහ අහන් වික්‍රමසිංහ (3) ඉක්මනින්ම පිටියෙන් ඉවත් වූහ.

එහෙත් අවසන් පන්දුවාර කිහිපයේදී රවිඳු ප්‍රනාන්දු සහ වනුජ සහන් නැවතත් ලකුණු වේගය ඉහළ නැංවූහ. රවිඳු පන්දු 18කින් ලකුණු 25ක් රැස් කළ අතර වනුජ පන්දු 16කින් ලකුණු 19ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිම 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ෆරිදූන් දාවූඩ්සායි කඩුලු 4ක් දවා ගනිමින් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ අතර ෆර්මානුල්ලා කඩුලු 3ක් ලබා ගත්තේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක ප්‍රවේශය හමුවේ ඔවුන්ට තරගයේ වැඩි කාලයක් පාලනය සියතට ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 50 ක් අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 322 යි – (අවිශ්ක ප්‍රනාන්දු 110 (පන්දු 97, 13×4, 1×6), නිරෝෂන් දික්වැල්ල 66 (පන්දු 54, 12×4), නුවන්දු ප්‍රනාන්දු 45 (පන්දු 70, 4×4), රවිඳු ප්‍රනාන්දු 25 (පන්දු 18 , 2×4, 1×6), වනුජ සහන් 19 (පන්දු 16, 3×4), සධීර සමරවික්‍රම 14, සහන් ආරච්චිගේ 12, අහන් වික්‍රමසිංහ 3, විජයකාන්ත් වියස්කාන්ත් 03*, දුලාජ් සමුදිත 01*, ෆරිදූන් දාවූඩ්සායි 67/4, ෆර්මානුල්ලා  47/3, මොහොමඩ් ඉබ්‍රාහිම් 53/1)

ඇෆ්ගනිස්තාන ‘ඒ’ ඉනිම පන්දුවාර 42.5 කදී සියලු දෙනා දැවී ලකුණු  219 යි – (හසන් ඊසාඛිල් 74, බහීර් ෂා 35, ඉජාස් අහමඩ් අහමඩ්සායි 19, ෆර්මානුල්ලා 43, දුලාජ් සමුදිත 25/5, කුගදාස් මාතුලන් 38/3, රවිඳු ප්‍රනාන්දු 44/1, විජයකාන්ත් වියස්කාන්ත් 53/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee