slc
logo
Home   |    News
නොවැම්බර් 30, 2020
දෙපිළක් අපරාජිත බව රැකගැනීමට සැරසෙද්දී දෙපිළක් පළමු ජය අපේක්ෂා කරති

sinhala editor

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සහභාගිවුණු පළමු තරගවලදී කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණු ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංන්ග් කණ්ඩායම් සිය අපරාජිත භාවය තවදුරටත් රැක ගැනීමේ අරමුණින් ද, පිට පිටම තරග දෙකක් පරාජයට පත්ව ජයග්‍රහණයක පිපාසය සංසිඳුවා ගැනීමේ අරමුණින් කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියේටර් හෙට (30 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එකිනෙකා මුණ ගැසෙති.

එහිදී ප.ව. 3.30 ට ආරම්භ වන තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංග්ස් ද ප.ව. 8 ට ආරම්භ වන තරගයේදී කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ද තරග වදිති. තරගාවලිය යටතේ මෙතෙක් සහභාගි වුණු තරග 2 න් 2 ම ජය ගෙන සිටින ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් කණ්ඩායමට අද විවේක දිනයකි.

විවේක දිනයක් වුවද හෙට පැවැත්වෙන ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංග්ස් අතර තරගයේ ප්‍රථිඵලය පිළිබඳව ඔවුහු දැඩි විමසිලිමත් භාවයකින් සිටිනු නියතය. මන්ද යත් එම තරගයේදී ජය වාර්තා කිරීමට සමත්වන කණ්ඩායමට මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කලම්බු කිංග්ස් කණ්ඩායම දෙවැනි තැනට ඇද දැමීමේ හැකියාවක් පැවැතීම හේතුවෙනි.

ජැෆ්නා ස්ටැලියන්ස් – දඹුල්ල වයිකිංග්ස්

තිසර පෙරේරා

තරගාවලියේ ඉදිරිය පිළිබඳව අදහස් දක්වා සිටින කණ්ඩායම් නායක තිසර පෙරේරා සිය කණ්ඩායමේ පිතිකරණ අංශයත් පන්දු යැවීමේ අංශයත් එක වගේ ශක්තිමත්ව පවතින බැවින් ඒ සියල්ල උපයෝගී කරගනිමින් තරගයෙන් තරගයට සැලැසුම් සකස් කරමින් සිය අරමුණ කරා යෑමට බලාපොරොත්තු වන බවයි.

“කණ්ඩායමේ සිටින සියළුම ක්‍රීඩකයින් එක හා සමානව දක්ෂතා දක්වන එක ගැන නායකයකු විදියට මම සෑහෙන්න සතුටු වෙනවා. බෝලිං යුනිට් එකද බැටිං යුනිට් එකද කියලා දෙපාර්ශ්වයක් නැතුව හැමෝම එක්කෙනා වගේ පළමු තරගයට හොඳ සහයෝගයක් ලබා දුන්නා” යැයි කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමෙන් පසු තිසර පෙරේරා අදහස් දක්වා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි තිසර, තරගයකදී ඕනෑම අවස්ථාවක වැරදීම් සිදුවිය හැකි බව සඳහන් කර සිටියේය. “ඇත්තටම තරගයකදී ඕනෑම වෙලාවක අතපසුවීම් සිද්ධ වෙන්න පුලුවන්. නමුත් අපි බලන්නේ කොහොම හරි ඒ මිස්ටේක්ස් අඩු කරගෙන ඉදිරි තරග වලට මුහුණ දෙන්න”යැයි පැවැසීය.

දසුන් ශානක

දඹුල්ල වයිකිංග්ස් සමාරම්භක තරගයේදී පන්දු 38 කදී ලකුණු 58 ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද නායක දසුන් ශානකගේ අදහස වන්නේ, අසීරුතම කරුණ මේ වන විටත් ජය ගෙන තිබෙන නිසා ඉදිරි තරගවලදී හොඳ තරගයක් ලබා දීම තමන් ඇතුළු කණ්ඩායමේ බලාපොරොත්තුව බවයි.

“ඇත්තටම කියනවා නම් තරගාවලියක අමාරුම තරගය තමයි පළවැනි තරගය. ඒක අපි හැමෝම දන්න දෙයක්. මොකද මේ වගේ තරගාවලියකට එනකොට ක්‍රීඩා කරන්න ලබා දෙන තණතීරුවේ හැසිරීම, තරගයක් ජයග්‍රහණය කිරීමට නම් ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව වැනි කරුණු ගැන වැඩි අවබෝධයක් අපි තුළ නැති නිසා. අපි පළමු තරගයට ක්‍රීඩා කරන්නේ ඔය කිසි දෙයක් පිළිබඳව හරි හැටි අවබෝධයක් නැතුවයි. අපේ කණ්ඩායම ඒ අසීරු තරගය ජය ගත්තා. ඒ ලබා ගත්ත ජයග්‍රාහී මානසිකත්වය තරගාවලියේ ඉදිරියටත් රඳවාගෙන හොඳ සටනක් ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව”යි කැන්ඩි ටස්කර්ස්ට පිලට එරෙහිව ලකුණු 04 ක ජයක් වාර්තා කිරීමෙන් පසු දඹුල්ල වයිකිංග්ස් නායකයා පවසා සිටියේය.

හෙට තරගයේදී දඹුල්ල වයිකිංග්ස් පිල මුහුණ දෙනු ලබන ප්‍රධානම ගැටළුව බවට පත් වන්නේ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු රහිතව තරගයට අවතීර්ණ වීමට සිදුවීමයි. පළමු තරගය අතරතුරදී වළලුකර ඇඹරී යෑම හේතුවෙන් ඕෂදට සතියක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබීම නිසා හෙට තරගයේදී ඕෂධගේ සහභාගිත්වය කණ්ඩායමට අහිමිවනු ඇත.

කැන්ඩි ටස්කර්ස් – ගෝල් ග්ලැඩියේටර්

මූලික තරග වටය යටතේ එක් කණ්ඩායමකට තරග 8 කට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම මත ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට මෙන්ම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට හෙට තරගය පරාජයට පත් වුවද අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි නොවේ. එසේ නොවුණහොත් තරගාවලියේ ඉදිරියට යෑමට නම් එක පිට තරග ජය ගැනීමේ අභියෝගයකට මුහුණ දීමට ටස්කර්ස් හෝ ග්ලැඩියේටර් පිලට සිදුවනු ඇත. එම තත්ත්වයක් ඇති වුවහොත් එය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අතිරේක පීඩනයක් වනවා නොඅනුමානය. එබැවින් හෙට තරගය ජය ගෙන තරගාවලියේ ඉදිරිය දෙස සැනසිලිදායක සූදානමක් ලබා ගැනීමට දෙපිළම සිය උපරිමය යොදවනු ඇත.

කුසල් පෙරේරා

මෙතෙක් පැවැති තරග 4 න් වැඩිම තරගයක් දී පරාජයට පත් වුණු කණ්ඩායම ලෙසින් කැන්ඩි ටස්කර්ස් පිල හඳුන්වා දිය හැක. පළමු තරගයේදී ලකුණු 219 ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නංවමින් සුපිරි පන්දුවාරයක් දක්වා තරගය රැගෙන ගියේය. දෙවැනි තරගයේදී ලකුණු 196 ක ඉලක්කයක් හඹා යෑමේදී වර්ෂාව හරස්වුණු නමුත් එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පරාජිත පරතරය ලකුණු 4 ක් දක්වා අවම අගයක් ගනු ලැබීය

“තරග 2  පරාජයට පත් වුණත් පළමු තරගය සුපිරි පන්දුවාරයෙදි තමයි පැරදුණේ. දෙවැනි තරගයේදී අපිට ඕවර 20 සෙල්ලම් කරන්න තිබුණා නම් ගොඩක් අවස්ථාවක් තිබ්බා අපිට තරගය දිනන්න. මොකද මේ තණතීරුවේ පන්දුවට පහර දෙන්න ගොඩක් ලේසි වගේම වැස්ස හින්දා ඔවුන්ට පන්දු යවනකොට පන්දුව අල්ලා ගන්න අපහසු නිසා. නමුත් ඒ සියලු දේවල් අපේ පාලනයෙන් තොර තියෙන දේවල්. නමුත් මේ තරගාවලියේදී අපේ ධනාත්මක දේවල් අරගෙන හෙට තරගයට හොඳින් ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තුව”කැන්ඩි ටස්කර්ස් නායකයා පවසයි.

“මේ වගේ තරගාවලියකට ක්‍රීඩා කරනකොට අත්දැකීම් කියන දේ හරි වැදගත් වෙනවා. මගේ කණ්ඩායමේ ඉන්නේ ගොඩක්ම තරුණ ක්‍රීඩකයින්. එයාලා පුලුවන් තරම් ඉක්මනින් පරිණතත්වයට පැමිණිය යුතුයි. අතපසුවීම් සිද්ධ වෙනවා. අපිට තවත් තරග 6 ක් තියෙනවා. ඒ තරග වලදී සිද්ධ වුණු වැරදි හදාගෙන අවස්ථානුකූලව ක්‍රීඩා කරන්නේ කොහොමද කියන එක ගැන ඔවුන් ඉක්මනින්ම ඉගෙන ගන්න ඕන. එක තරුණ ක්‍රීඩකයින්ට ගොඩක් වැදගත්” යි කුසල් පෙරේරා පැවැසීය.

චැඩ්වික් වෝල්ටන්

පිට පිටම තරග 2 ක් පරාජයට පත් වුවද ඒ පිළිබඳව අදහස් දක්වන ගෝල් ග්ලැඩියේටර් පිලේ චැඩ්වික් වෝල්ටන් පවසන්නේ, තරග 2 ක් පරාජය වුවද එය කණ්ඩායමේ ඉදිරි ගමන සඳහා පීඩනයක් වනු ඇතැයි තමන් පෞද්ගලිකවම විශ්වාස නොකරන බවය.

“මේ වගේ තරගාවලියකදී තරග 2 ක් පැරදීමේදී කණ්ඩායමක් පීඩනයකට යටත් වෙනවා කියන්නේ එය පෞද්ගලිකවම මම විශ්වාස කරන්නේ නෑ. නමුත් තරග 2 ක් පරාජය වෙලා තියෙනවා නම්, ඔව් අපි ජයග්‍රාහී මාවතකට පය තැබිය යුතුයි. ඒක තමයි හෙට තරගයේදී අපේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ” යි වෝල්ටන් පවසයි.

පාකිස්තානු ක්‍රීඩකයින් හැරුණු කොට ගෝල් ග්ලැඩියේටර් පිලට ක්‍රීඩා කරනු ලබන අනෙක් එකම විදෙස් ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් දේශය නියෝජනය කරමින් පැමිණි චැඩ්වික් වෝල්ටන්ය. විස්සයි-20 තරග 19 කට ක්‍රීඩා කර ඇති වෝල්ටන් එල්.පී.එල්. සටන ඇරඹුණු ජැෆ්නා ස්ටැලියන්ස් ට එරෙහි තරගයේදී ග්ලැඩියේටර් පිල වෙනුවෙන් ඉනිම ආරම්භ කළ නමුත් රැස් කරගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

“ඇත්තටම අපි අද හොඳ පුහුණු සැසියක නිරත වුණා. අපේ කණ්ඩායම තරග 2 කට ක්‍රීඩා කළත් පෞද්ගලිකවම මම මේ තරගාවලියේදී ක්‍රීඩා කළේ එක තරගයයි. නමුත් මේ පැවැති පුහුණු සැසියේදී අපිට පොඩි පොඩි අඩුපාඩු කම් ටිකක් පිරි මසා ගන්න අපිට හැකි වුණා” පවසන චැඩ්වික් “මේ තරගාවලිය ඉතාම තරගකාරී තරගාවලියක් බව පේනවා. මොකද මුල ඉඳලම පැවැති තරග වලදී ලොකු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වුණු නිසා. ඒ වගේම පළමු තරගය ගත්තත් එය සුපිරි පන්දුවාර දක්වා ඇදී ගියා. ඒ වගේමයි අවසන් රාත්‍රියේ තිබුණු තරගයත්. පන්දුවාර 5 ක තරගයත් වුණත් එහිදී කණ්ඩායමක් ලකුණු 90 කට වඩා රැස් කරගත්තා. ඒ වගේම ඊට පිළිතුරු ලෙස අනිත් කණ්ඩායමත් ලකුණු 70 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත්තා. ඒවායෙන් පේනවා මේ තරගාවලියේ තරගකාරී බව” යි වෝල්ටන් පැවැසීය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar