slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2020
ලෝකෙන් අංක 1 ට ආපු මඩුගල්ලේ සහ ධර්මසේන LPL සහායට

Sri Lanka Cricket

තව දින 6 කින් ආරම්භවීමට නියමිත “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාව වී තිබෙන අතර එහිදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ඉහළ පිළිගැන්මක් ඇති තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල සහ අන්තර්ජාතික ක්‍රිකට් සභා විනිසුරු මඩුල්ලේ සාමාජික කුමාර් ධර්මසේන මහත්වරුන්ගේ සේවය ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වන ලද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 7 කදී තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මඩුගල්ලේ මහතා 1999, 2003 සහ 2019 යන තරගාවලිවලදී අවසන් මහ තරගවල තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබේ. ටෙස්ට් තරග 150 ක් වෙනුවෙන් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන ලද ලොව පළමු තරග තීරකයා ලෙසින් ඉකුත්දා වාර්තාවක් පිහිටුවීමට සමත් වුණු මඩුගල්ලේ මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේම තරග තීරකවරුන් දෙපළක් ලෙසින් කටයුතු කරන වෙන්ඩල් ලැබ්‍රෝයි සහ ග්‍රැහැම් ලැබ්‍රෝයි සමඟ එල්.පී.එල්. තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරනු ඇත. එම තරග තීරක මඩුල්ලට ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග වල තීරකවරයෙකු ලෙසින් කටයුතු කරනු ලබන මනෝජ් මෙන්ඩිස් මහතාද ඇතුළත්ව සිටියි.

2012 සහ 2018 වර්ෂවලදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වන ලද වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී ලොව හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට පිදෙන ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලාන දිනා ගැනීමට සමත්ව සිටින කුමර් ධර්මසේන මහතා, විනිසුරුවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු එල්.පී.එල්. විනිසුරු මණ්ඩලයට එකතුව සිටියි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩල් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවරුන්ද ඇතුළත් එම කමිටුවේ පළමු පෙළ තරග විනිශ්චයේ නියැළෙන විනිසුරුවන් කීප දෙනෙකුටද අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. දීපාල් ගුණවර්ධන, හේමන්ත බොතේජු, කීර්ති බණ්ඩාර, අසංග ජයසූරිය, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි එල්.පී.එල්. තරගාවලියේ කටයුතු කරනු ලබන දේශීය විනිසුරුවෝ වෙති.

ශ්‍රී ලංකා කිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. දෙසැම්බර් 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය ඇතුළු සමස්ථ තරගාවලිය තරග 23 කින් සමන්විත වේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest