slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2020
සුපිරි පන්දුවාරයෙන් කෙළවර වුණු තරගයකින් LPL ඇරඹෙයි

sinhala editor

මංගල තරගයේ ජය කලම්බු කිංග්ස්ට – තරගයේ වීරයා චන්දිමාල්

Chamila Karawita reporting from Hambantota

ලීග් ක්‍රිකට් තරගාවලිවලට නව පරිඡේදයක් එක් කරමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (26 දා) ඇරැඹි “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයම ලකුණු සම වෙමින් නිමාවට පත් වුණු අතර ජයග්‍රාහකයන් තේරීම සුපිරි පන්දුවාරය දක්වා දීර්ඝ විණ. සුපිරි පන්දුවාරයේදී ලකුණු 17 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කර්ස් පිල ලකුණු 12 ක් පමණක් ලබා ගත් බැවින් තරගයේ ජය කලම්බු කිංග්ස් පිලට හිමිවිය.

ලොව මෙතෙක් පවත්වා ඇති ලීග් තරගාවලියන්හි සමාරම්භක තරගය සුපිරි පන්දුවාරයක් දක්වා දීර්ඝ වුණු අවස්ථාවක් වශයෙන් සනිටුහන් වීම, එල්.පී.එල්. තරග ආරම්භයේ විශේෂ සිදුවීමක් විය. එපමණක් නොව සමාරම්භක තරගයේදී දෙපිළෙම ලකුණු 450 ක් ඉක්මවා ලබා ගැනීමද කැපී පෙනෙයි.

ලකුණු 220 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කිංග්ස් පිලට ජයග්‍රහණය කිරීමට නම් අවසන් පන්දු වාරයේදී ලකුණු 20 ක් ලබාගත යුතු විය. එහිදී සාර්ථක වුණු ඉසුරු උදාන අවසන් පන්දුවාරය යවන ලද අසේල ගුණරත්න ලබා දුන් වයිඩ් පන්දුවේ සහයෝගයද සමඟ ලකුණු 19 ක් ලබා ගනිමින් දෙපිළේම ලකුණු සම තත්ත්වයට රැගෙන ආවේය.

ඉලක්කය අසීරු වුවත් ආරම්භක පිතිකරණ ස්ථානයට උසස්වීම් ලබමින් පන්දුවට පහර දීමට පැමිණි දිනේෂ් චන්දිමාල් සහ ලොරී එවන්ස් පන්දු 32 කදී ලකුණු 64 ක් වාර්තා කරමින් වේගවත් ආරම්භයක් ලබා දුන්හ. එහිදී එවන්ස් ලකුණු ලකුණු 22 කදී දැවී ගියද සිය ධෛර්යවන්ත පිතිහරඹයක නියැළුණු චන්දිමාල් පන්දු 28 කදී ලකුණු 50 වාර්තා කරමින් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවූහ.

තික්ෂිල ද සිල්වා සමඟ එක්වූ චන්දිමාල් වෙනදා දක්නට නොලැබෙන වේගවත් පිති ප්‍රහාරයක නියැළෙමින් ජයග්‍රාහී ඉලක්කය ආසන්නයට කණ්ඩායම රැගෙන යෑමට කරන ලද උත්සාහය මුළුමනින්ම බිඳ දමන ලද්දේ මඳ වේග පන්දු යවන නවීන් උල්හක්ය. පිට පිට පන්දු 2 කදී චන්දිමාල් සහ තික්ෂිලගේ කඩුලු දවා ගැනීමට නවීන් සමත් නොවන්නට කලම්බු කිංග්ස් තරමක් පසු බැස්සේය.

අනතුරුව පිටියට පිවිසි නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ඇන්ඩ්‍රෙ රසල්වද අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම මත 17 වැනි පන්දුවාර 5 වැනි පන්දුව වන විට ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 167 ක් ලෙසින් සටහන් විය. පන්දු 19 කදී ජයග්‍රහණය සඳහා ලකුණු 57 ක් ලබා ගැනීමේ අභියෝගය කරට ගෙන පිටියට පිවිසි ඉසුරු උදාන, ලීග් තරගවලට ක්‍රීඩා කරමින් තමන් ලබා සිටින සියළු අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් හයේ පහර 4 ක් සහ සමඟින් පන්දු 12 කදී ලකුණු 34 ක් ලබා ගත්තේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. එම ඉනිමත් සමග කයිස් අහමඩ් සමඟ හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 17 කදී ලකුණු 52 ක් එක් කළ ඉසුරු පෙනි පෙනී තිබූ පරාජය ජයග්‍රහණයක් දක්වා පරිවර්තනය කර ගැනීමට සමත්වූවේය.

ආරම්භයේ සිටම ඉතාමත් විශ්වාසයෙන් යුතුව පහර දුන් චන්දිමාල්ගේ ලකුණු 80 ක වටිනා ඉනිම සඳහා පන්දු 46 කට පමණක් මුහුණ දුන්නේය. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද චන්දිමාල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සමන්විතවිය. චන්දිමාල්ගේ ඉනිමට අමතරව කයිස් අහමඩ් පන්දු 8 කදී රැස් කරන ලද ලකුණු 15 ද ඉතා වටිනා ඉනිමක් බවට පත්විය.  

විදේශීය ක්‍රීඩකයින් සිව්දෙනකුට තරග වැදීමේ අවස්ථාව තිබියදී තිදෙනකු සමඟින් තරගයට අවතීර්ණව වෙමින් එයිනුත් එක් ක්‍රීඩකයකු ආබාධයක් ලබා පිටියෙන් ඉවත්ව ගිය වටපිටාවකදී වුවද සටහන අත් නොහළ කැන්ඩි ටස්කර්ස් ක්‍රීඩකයෝ ලකුණු 200 ට එහා ඉලක්කයක් කලමුබ් කිංග්ස් පිල හමුවේ තැබීය. කාසියේ වාසිය දිනූ ප්‍රතිවාදී පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර්ස් පිලේ ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් එල්.පී.එල්. තරග ඉතිහාසයේ ප්‍රථම අර්ධ ශතකය වාර්තා කරන ලද පිතිකරුවා ලෙසින් නොබිඳිය හැකි වාර්තාවක් තම නාමය ඉදිරියෙන් සනිටුහන් කර ගත්තේය.

ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් පවත්වන ලද විචිත්‍රවත් සමාරම්භ උළෙලින් පසු ඇරැඹි එල්.පී.එල්. පළමු තරගයේ  මංගල පන්දුවට මුහුණ දීමේ අවස්ථාව 18 හැවිරිදි ඇෆ්ගනිස්තානුවා සතු වුවත් පළමු හතරේ පහර එල්ල කිරීමේ වූ සදාතනික ගෞරවය නායක් කුසල් පෙරේරා සතුවිය.

මන්ප්‍රීට් ගෝනි යවන ලද දෙවැනි පන්දුවාරයේ සිට සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කළ ඇෆ්ගනිස්තානු ජාතික දකුණත් පිතිකරුවා මුහුණ දුන් 21 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේ කලම්බු කිංග්ස් පන්දු යවන්නන් අන්ද මන්ද කර දමමිනි.

මැතිව්ස්, ගෝනි, චමීර සහ උදානගේ පන්දු යැවීම තඹයකටවත් මායිම් නොකළ ගුර්බාස් කයිස් අහමඩ්ට එරෙහිව පිට පිට හයේ පහර 2 ක් එල්ල කරමින් අර්ධ ශතකය ලබාගත්තද අනතුරුව යවන ලද පන්දුවේදී උඩ පන්දුවක් දැවී ගියේ තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සරසා ගනිමිනි.

දැවී යන විටත් නායක කුසල් සමඟ ලකුණු 75 ක සම්බන්ධතාවයක් එක් කිරීමට ගුර්බාස් සමත්වීම නිසා පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 79 ක් රැස් කර ගැනීමට කැන්ඩි ටස්කර්ස් පිලට හැකියාව ලැබිණ. ගුර්බාස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් තරමක් තැන්පත් වුණු කුසල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේ.

පිටිය සිසාරා පහර එල්ල කළ වමත් කසකරුවා අර්ධ ශතකය පන්දු 35 කදී සම්පූර්ණ කරගනිද්දී ඉතිරි ලකුණු 37 ලබා ගැනීම සඳහා පන්දු 17 ක් පමණක් වැය කළේය. දැවී යන විටත් හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සිය ඉනිම සරසාගෙන සිටි කුසල් පෙරේරා පන්දු 52 කදී කුසල් ලකුණු 87 ක් ලබා සිටියේය.

නුහුරු ලෙස ඇදී ගිය උඩ පන්දුව හඹා ගිය අශාන් ප්‍රියන්ජනගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ කුසල්ගේ ඉනිම හමාර වූ නමුත් කලම්බු කිංග්ස් පන්දු යවන්නන් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාර 5 දී ලකුණු 70 ක් උදුරා ගැනීමට කැන්ඩි ටස්කර්ස් පිතිකරුවෝ සමත්වූහ. ඒ අතර තුරදී කුසල් මෙන්ඩිස් (පන්දු 24 කදී ලකුණු 30 ක්) සමඟ ලකුණු පන්දු 42 කදී ලකුණු 59 ක්ද අසේල ගුණරත්න සමඟ පන්දු 39 කදී ලකුණු 73 ක්ද රැස් කරමින් තම ඉනිම ලකුණු 200 ඔබ්බට රැගෙන යෑමට වැඩි දායකත්වයක් ලබා දුන්නේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest