slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2020
අවසන් පන්දුවේදී දඹුල්ල වයිකින්ස්ට ජය

sinhala editor

Chamila Karawita reporting from Hambantota

අවසන් පන්දුව දක්වාම උණුසුම විහිදී ගිය “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ 17 වැනි තරගය ලෙසින් ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අද (09 දා) සමත්විය.

තරගයේ වැඩි වාසි විටින් විට දෙපිළටම දෝලනය වුණු මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල වයිකින්ස් පිල අවසන් පන්දුවේදී ජයග්‍රහණ සපුරා ගියේ සමිඋල්ලා ශින්වාරි එල්ල කරන ලද හයේ පහරත් සමඟය. පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් එල්ල කරමින් ශින්වාරි රැස් කරන ලද ලකුණු 46 ක ඉනිම හේතුවෙන් පරාජය පෙනි පෙනී තිබූ තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීමට දඹුල්ල වයිකින්ස් පිලට අවස්ථාව උදාවිය. මෙම ජයග්‍රහණයට ගෝල් ග්ලැඩියේටර් පිල විසින් අත හරින ලද උඩ පන්දුද හේතු නොවූවාම නොවේ.

ශින්වාරි පිටියට පැමිණෙන අවස්ථාවන විට දඹුල්ල වයිකින්ස් පිලට ජයග්‍රහණය සඳහා පන්දු 33 කදී ලකුණු 65 ක් ලබා ගැනීමේ අභියෝගය පැවැතින. සමිත් පටෙල් සමග ලකුණු රැස් කිරීම ආරම්භ කළ ශින්වාරි ලබා දුන් උඩ පන්දුව ධනුෂ්ක ගුණතිලකට ගිලිහී යෑඹ නිසා එම වාසිය ප්‍රයෝජනයට ගනිමින් පන්දු 14 කදී ලකුණු 33 ක් ගෝල් ග්ලැඩියේටර් පිලෙන් ඩැහැ ගත්තේය. එම උඩ පන්දුව රැක ගැනීමට ධනුෂ්ක සමත්වූයේ නම් ශින්වාරිගේ ඉනිම ලකුණු 13 දී නිමා වනු ඇත.

ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 07 ක් ලබා ගත යුතුව තිබියදී ෂෙහාන් ජයසූරියගේ පන්දුවකට ලෝන් ඕන් හි පන්දු රකිමින් සිටි ධනංජය ලක්ෂාන් අතින්ද ගිලිහී යෑමද දඹුල්ල වයිකින්ස් ජයග්‍රහණයට ආබරණයක් බඳු විය. ජයග්‍රහණය සනාථ වනතෙක් ශින්වාරි සමඟ රැඳී සිටි රමේෂ් මෙන්ඩිස් පන්දු 7 කදී ලකුණු 13 ක් රැස් කළේය. මොවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 20 කදී ලකුණු 46 කි. මොවුන්ට අමතරව නිරෝෂන් දික්වැල්ල පන්දු 30 කදී ලකුණු 38 ක් සහ ඇන්ජලෝ පෙරේරා පන්දු 31 කදී ලකුණු 45 ක් රැස් කරමින් දඹුල්ල වයිකින්ස් පිලේ ජයග්‍රහණයට උර දුන්හ.

ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ එකතුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී රැස් කරන ලද ලකුණු 50 ක වේගවත් සම්බන්ධතාවය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 73 ක් රැස් කිරීමට ගෝල් ග්ලැඩියේටර් පිලට අවස්ථාව උදාවිය. එම සම්බන්ධතාවයට පෙර අසාන් අලී එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 16 කදී වේගවත් ලකුණු 33 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ධනුෂ්ක සමත් වූ අතර ඉන් ලකුණු 24 ක්ම ධනුෂ්කගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනුණි.

හුංගම විජයබා විදුහලින් නියෝජනය කොට වේග පන්දු යවන්නකු ලෙසින් එළැඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරයට එක්වීමට වරම් ලබා සිටින ඩිල්ෂාන් මධුශංක අද දිනයේ මංගල එල්පී.එල්. වරම් දිනා ගනිමින් අසාන් අලීගේ කඩුල්ල දවා ගැනීමට සමත්විය.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ධනුෂ්ක අද තරගයේදී පන්දු 31 කදී හතරේ පහර 8 ක් සමඟ ලකුණු 46 ක් රැස් කරගත්තේ සමස්ථ තරගාවලියේ රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 368 ක් දක්වා ඉහළ නංවමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් භානුක රාජපක්ෂ පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් ලබා ගත් අතර රමේෂ් මෙන්ඩිස්ගේ ගොදුරක් ලෙසින් 8 වැනි පන්දුවාරයේදී ඔහු දැවී යන විට පන්දුවාරයකට ලකුණු 11.37 ක වේගයෙන් ලකුණු පුවරුවේ රැඳීවීමට ධනුෂ්ක සහ භානුක සමත්වූහ.

භානුකගේ දැවී යෑමත් සමඟ ලකුණු පුවරුවට ලකුණු 7 ක් එකතු වනවිටදී කඩුලු 3 ක් දැවී යෑම එතෙක් පවත්වාගෙන ආ ලකුණු වේගය අඩාල වීමට හේතු විය. භානුකගේ දැවී යෑමෙන් පසු පන්දුවට පහර දීමට පැමිණි අසාම් ඛාන්ව ඊළඟ පන්දුවේදීම දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත්වද්දී  එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ධනුෂ්කගේ කඩුල්ල දවා ගැනීමට දසුන් ශානක සමත්වූහ. පන්දු යැවීමේදී කැපී පෙනුණු කසුන් රජිත, රමේෂ් මෙන්ඩිස් සහ දසුන් ශානක කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.  

පවර් ප්ලේ අවස්ථාවේදී වේගයෙන් ලකුණු ලබා ගැනීමට සමත් වුවත් එතැන් පටන් තරගයේ පාලනය සියතට ගැනීමට දඹුල්ල වයිකින්ස් පන්දු යවන්නන් සමත්වීම නිසා අවසන් පන්දුවාර 14 දී ගෝල් ග්ලැඩියේටර් පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 95 ක් පමණි. මැද පෙළින් පැමිණි ෂෙහාන් ජයසූරිය ලකුණු අතරට පැමිණෙමින් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟ ලකුණු 39 ක්ද ධනංජය ලක්ෂාන් හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 18 කදී නොදැවී ලකුණු 23 ක් ලබා ගත්හ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar