slc
logo
Home   |    News
දෙසැම්බර් 25, 2020
දකුණු අප්‍රිකාවට වසර 30 ක් ක්‍රිකට් අහිමිවුණු හේතුව…

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වී වසර  12ක් ගතවන තුරුම ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සමඟ ‍ටෙස්ට් තරඟයකට සහභාගී නොවුයේ ඇයි ද යන්න මෙරට ක්‍රීඩා ලෝලීන්ගෙන් වැඩි කොටසක් නොදන්නා බව සුප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාව පමණක් නොව  අපට කලින් ටෙස්ට් තත්වය ලබා සිටි  රටවල් ද 1965-1993 පමණ තෙක්  වසර  තිහක පමණ කාලයක් දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟයකට  සහභාගී නොවීය. ක්‍රිකට්  පමණක් නොව ඔලිම්පික්‚ ලෝක කුසලාන ක්‍රීඩා හා ලෝක ශූරතා රගර් ඇතුලු ජාත්‍යන්තර  ක්‍රීඩා කිසිවෙකටත් මේ කාලය තුල දකුණු අප්‍රිකාවේ සහභාගිත්වයක් නොවීය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ පුරෝගාමීන් වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ දකුණු අප්‍රිකාව ද අතීතයේ දී ක්‍රිකට් සබඳතා පැවැත් වු සමාරම්භක සාමාජිකයෝ වෙති. එංගලන්ත – දකුණු අප්‍රිකා  ක්‍රිකට් 1888-1889 වසරේත් ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා ක්‍රිකට් 1902 – 1903 වසරේත් ආරම්භ විය. එංගලන්තය 1965 දීත් ඕස්ට්‍රේලියාව 1969 දීත් දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා සබඳතා නැවැත්වීමෙන් පසු එය නැවත ආරම්භ වූයේ වසර තිහක පමණ කාලයකට ආසන්න වීමෙනි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ම මැදිහත්ව දකුණු අප්‍රිකාවට සෑම අංශයකින්ම සම්බාධක පැනවීමට ප්‍රධාන හේතුව වූයේ කලක සිට දකුණු අප්‍රිකාව පිළිපැද්දා වූ කළු සුදු වර්ණ භේද ප්‍රතිපත්තීන්ට විරෝධය පළ කිරීමක් ලෙසිනි. රටේ සියළු පරිපාලන හා වෙනත් කටයුතු සඳහා ද ක්‍රීඩා කණ්ඩායම් තේරීමේ දී ද තනිකරම සුදු ජාතිකයින් ඇතුළත් කර ගැනීම ඊට ප්‍රධානම හේතු විය. බොහෝ දෙනා ඊට තරයේ විරෝධය පළ කළ අතර එරට හිටපු ජනාධිපතිවරයෙකු වන නෙල්සන් මැන්ඩෙලා හට සිර බත් කෑමට ද සිදු විය.

දකුණු අප්‍රිකාව ඔවුන්ගේම මතය සනාථ කිරීමට ක්‍රීඩා කණ්ඩායම් එරටට ගෙන්වීමේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් එම දිනවල ගෙන්වා ක්‍රීඩා කළ ද ඔවුනට එල්ල වූ චෝදනා නිම නොවීය. නැවත වතාවක් කළු ජාතිකයන්ට ද සුදුසු ස්ථාන ලබා දීමෙන් පසු මෙය සමතයකට පත්ව යථා පරිදි කටයුතු ආරම්භ වූයේ එක්දහස් නවසිය අනූව දශකයේ ආරම්භයේ සිටය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඔවුන් නැවත පිවිසියේ 1992 ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිටය.

1992 කෙප්ලර් වෙසල්ස් දකුණු අප්‍රිකා කණ්ඩායමට නායකත්වය දුන් අතර 1995 එංගලන්තය සමඟත් 1993 ශ්‍රි ලංකාව සමඟත් 1994 ඕස්ට්‍රේලියාව සමඟත් තරගාවලියන්ට සහභාගී වීමට එතෙර සංචාරයන්ට එක්විය. වෙසල්ස්ගෙන් පසු දකුණු අප්‍රිකා ක්‍රිකට් නායකත්වයට පත් වූයේ හැන්සි ක්‍රොන්යේය. 

රටේ පාලකයන් දැරු මතයන්ට ක්‍රිඩක ක්‍රිඩිකාවනට ද තම ජීවිතයේ හොඳම කාලයන්ගෙන් වන්දි ගෙවීමට සිදු වුවත් කාලයාගේ ඇවෑමෙන් දැන් වත්මන් පරපුරට භේද නොමැතිව මිතුරුදම් තරවී යථාතත්වයට පත්ව තිබිම ලෝවැසි කාගේත් සතුටට කරුණකි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest