slc
Home   |    News
දෙසැම්බර් 5, 2020
දඹුල්ල වයිකින්ස් කළින්ම අවසන් පූර්ව වරම් ලබයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

රැක ගත යුතුම උඩ පන්දු 4 ක් ගිලිහී ගියද අන්වර් අලී ප්‍රධාන පන්දු යවන්නන්ගේ නොපසුබට උත්සාහය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ග්ලැඩියේටර් පිලට පිට පිටම පස්වැනි පරාජයත් අත්කර දීමට දඹුල්ල වයිකින්ස් ක්‍රීඩකයෝ අද (05 දා) සමත්වූහ. ලකුණු 208 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර් පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 198 කට සීමා කිරීමට දඹුල්ල පන්දු යවන්නන් සමත්වද්දී තරග 5 කදී ජයග්‍රහණ 4 ක් සමඟින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීමට දසුන් ශානකගේ නායකත්වනේ යුතු දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ.

එම ඉලක්කය හඹා යෑමේදී මෙතෙක් දිනක් හුදෙකළාව පන්දුවට පහර දුන් ධනුෂ්ක ගුණතිලක සහයෝගයක් ලබා දීමට අසාම් ඛාන් සමත්වීම නිසා ජයග්‍රහණය දෙපිළමට දෝලනය වන්නට විය. එකී තත්ත්වයට දඹුල්ල වයිකින්ස් පිලේ දුර්වල උඩ පන්දු රැකීමද මනා පිටිවහලක් වීය.

තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ධනුෂ්ක ගුණතිලක සහ අසාම් ඛාන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී වේගවත් ලකුණු 94 ක් රැස් කිරීමට සමත්වූහ. එම තත්ත්වය මත දහ වැනි පන්දුවාරය අවසන් වීමට ප්‍රථම ලකුණු 100 සීමාව ඉක්මවාලීමට ගෝල් ග්ලැඩියේටර් පිලට අවස්ථාව උදාවිය. මෙම සම්බන්ධතාවය අතරතුරදී දවා ගැනීම සඳහා උඩ පන්දු 4 ක් ලබා දුන් නමුත් ඒ සියල්ල දඹුල්ල පන්දු රකින්නන් අතින් ගිලිහී ගියහ.

14 වැනි පන්දුවාරය යැවූ දසුන් ශානක විසින් පන්දු 24 ක් තුළදී ලකුණු 55 ක් ලබා සිටි අසාම් ඛාන්ව දවා ගැනීමට සමත් වන විට ගෝල් ග්ලැඩියේටර් පිලේ ජයග්‍රාහී ඉලක්කය පන්දු 42 කට ලකුණු 67 ක් ලෙස දිස්විය. එතැන් පටන් සිය ග්‍රහණය තර කළ අන්වර් අලී ප්‍රමුඛ පන්දු යවන්නෝ අවසන් පන්දු 24 දී දී ලබාගත යුතු ඉලක්කය 41 ක් තරම් පරතරයක තබාගත්හ.

තීරණාත්මක 17 වැනි සහ 19 වැනි පන්දුවාර ක්‍රියාත්මක කළ අලී පන්දු 11 ක් ඇතුළත චැඩ්වික් වෝල්ටන්, ෂෙහාන් ජයසූරිය සහ ධනුෂ්ක ගුණතිලකගේ කඩුලු දවා ගැනීමට සමත්වී නිසා එතෙක් වෙලා දෙපිළ අතට වරින් වරට මාරු වෙමින් තිබූ තරගයේ වාසිය දඹුල්ල වයිකින්ස් පිලට සින්නක්කරව ලියා දුන්නේය.තම පන්දුවාර 4 දී ලකුණු 37 කට කඩුලු 3 ක් ලෙසින් දක්ෂතාවය පෙන්වූ අන්වර් අලී තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

එල්.පී.එල්. තරගාවලියේ තෙවැනි ශතකයට හිමිකම් කී පළමු පිතිකරුවා බවට අද දිනයේ පත් වුණු ධනුෂ්ක දැවී යන විට පන්දු 52 කදී ලකුණු 78 ක් ලබා සිටියේය. හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් ධනුෂ්කගේ ඉනිම සවිමත් වුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට එම ඉනිමට නොහැකි විය.  

දඹුල්ල වයිකින්ස් පිලට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති සාර්ථක ආරම්භයක අඩුව පිරිමැසූ උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක් එක් කළහ. මෙතෙක් පැවැති තරගවලදී ආරම්භක පිතිකරුවන් යුගලයක් එක් කළ වැඩිම ලකුණු සම්බන්ධතාවය මෙන්ම අර්ධ ශතක සම්බන්ධතාවයක් එක් කරන ලද පළමු අවස්ථාව වශයෙන් සටහන් වුණු එම සම්බන්ධතාවය සඳහා පන්දු 76 ක් පමණක් වැය වී තිබුණි. මීට පෙර ආරම්භක කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම සම්බන්ධතාවය බවට පත්වූයේ කැන්ඩි ටස්කර්ස් පිලේ කුසල් පෙරේරා සහ රාමනුල්ලා ගුර්බාස් කලම්බු කිංග්ස් පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 75 ක සම්බන්ධතාව විය.

මුහුණ දුන් 30 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත් නිරෝෂන් දික්වැල්ල තරංග සමඟ එක්ව පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 48 ක් එක් කළහ. ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට ෂෙහාන් ජයසූරිය අතර උඩ පන්දුවක් දී දික්වැල්ල දැවී යන විට පන්දු 37 කදී ලකුණු 60 ක් ලබා ගෙන තිබුණේ තම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින්ද වර්ණවත් කරගනිමිනි.

පිතිකරණ රිද්මය ගිලිහී යෑම මත මෙම තරගයට පෙර ක්‍රීඩා කරන ලද ඉනිම වලදී ලකුණු අතරට ඒමට අපොහොසත් වුණු උපුල් තරංග හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමඟින් පන්දු 54 කදී ලකුණු 77 ක් රැස් කරගත්තේය. ආරම්භක පිතිකරුවන් ලබා දුන් සාර්ථක ආරම්භය හේතුකොට ගෙන පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් කරමින් අංක 3 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි නායක දසුන් ශානක පන්දු 21 කදී වේගවත් ලකුණු 37 ක් රැස් කළේය. හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් වුණු දසුන්ගේ ඉනිම වයිකින්ස් පිලට ලකුණු 200 කට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට පහසු අවස්ථාවක් නිර්මාණය කර දුන්නේය. අද ලබාගත් ලකුණු 37 ට පෙර දසුන්, 33, 56, 35 සහ 73 වශයෙන් දඹුල්ල වයිකින්ස් පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්විය.

වයිකින්ස් ඉනිමේ කඩුලු 2 ක් දවා ගත්තද ධනංජය ලක්ෂාන් යවන ලද 16 වැනි පන්දුවාරයේ පිරිනමන ලද නිපන්දු ලකුණු 5 ද සමඟ ලකුණු 21 ක් උදුරාගත් තරංග සහ ශානක දෙපළ දෙවැනි කඩුල්ල වෙනුවෙන්පන්දු 28 කදී වේගවත් ලකුණු 69 එක් කළහ.

දසුන් ශානක පන්දුවට පහර දෙමින් සිටියදී මොහොමඩ් අමීර් එවන ලද පන්දුවක් උඩ පන්දුවක් ලෙස රැක ගත්තද එම පන්දුව නීති විරෝධී පන්දුවක් බවට විනිසුරුවරයා සංඥා කිරීම නිසා පිටිය තුළ තරමක උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. විස්සයි-20 තරග රටාවේදී පන්දු යවන්නාට උර හිසට ඉහළින් පන්දු යැවීමට අවස්ථාව හිමිවන්නේ පන්දුවාරයකට එක් පන්දුවක් පමණක් වන අතර ඊට පෙර පන්දුව ආමර් විසින් උරහිසට ඉහළින් යැවීම මත ග්ලැඩියේටර් නායකයාගේ උත්සාහය නිෂ්ඵල විය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest