slc
Home   |    News
දෙසැම්බර් 15, 2020
දඹුල්ල වයිකින්ස් පැරදූ ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

sinhala editor

Chamila Karawita reporting from Hambantota

දඹුල්ල වයිකින්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 37 ක පහසු ජයක් වාර්තා කළ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම් දිනා ගැනීමට අද (14 දා) සමත්වූහ.

තරගාවලිය ආරම්භයේ සිටම ඉතාමත් සැලසුම් සහගතව අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිඳු හසරංග ප්‍රමුඛ පන්දු යවන්නෝ යළිත් සාර්ථක වෙමින් දඹුල්ල වයිකින්ස් පිතිකරුවෙන් අමාරුවේ දැමූහ. එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල වයිකින්ස් පිල පන්දුවාර 19 කුත් පන්දුවකදී සීමා කළ ජැෆ්නා පන්දු යවන්නෝ අභිනව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලබන 16 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග වරම උදාකර ගත්හ.

දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ලකුණු 30 සීමාව ඉක්මවා යෑමට උපුල් තරංග පමණක් සමත්වූ නමුදු එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා පන්දු 39 කට මුහුණ දී තිබුණි. ආරම්භයේදී හොඳින් පහර දුන් නිරෝෂන් දික්වැල්ල පන්දු 18 කදී ලකුණු 29 ක් ලබා සිටියදී අසලංකගේ පන්දුවකට දැවී යෑම මත වයිකින්ස් ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

නායක දසුන් ශානක දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට උස්මාන් ශින්වාරි සමත්වීම වයිකින්ස් ඉනිමට දරාගත නොහැකි පාඩුවක් විය. දසුන් ශානක දවා ගැනීම වෙනුවෙන් ශින්වාරි විසින් පන්දුව කඩුල්ලටම යොමු කිරීම කැපී පෙනිණ. එම දැවී යෑමෙන් පසු නැවතත් ශින්වාරි විසින් අන්වර් අලීවද දවා ගන්නා ලද්දේ එවැනිම ආකරයේ සුපිරි පන්දු යොමු කිරීමකිනි.

11 වැනි පන්දුවාරයේදී ශානක දැවී ගිය අතර ඊට පන්දු 4 කට පසු මැද පෙළින් වේගයෙන් පන්දුවට පහර දිය හැකි පිතිකරුවකු වන සමිඋල්ලා ශින්වාරිව දවා ගත් වනිඳු හසරංග තරගයේ පූර්ණ වාසිය ජැෆ්නා ස්ටැලියන්ස් වෙත හරවා දුන්නේය. තම පන්දුවාර 4 තුළදී උපුල් තරංගගේ සහ මාලින්ද පුෂ්පකුමාරව දවා ගත් වනිඳු තම පන්දුවාර 4 දී ලකුණු 15 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් දවා ගත්තේය.

වනිඳු අද දිනයේදී එක් නිලකුණු පන්දුවාරයක් යැවීමටද සමත් වූ අතර එය මෙවර තරගාවලියේ ඔහු යවන ලද දෙවැනි නිලකුණු පන්දුවාරය විය. ඔහුට අමතරව ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ මොහොමඩ් අමීර් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ අසේල ගුණරත්න ද තරගාවලියේ එක් නිලකුණු පන්දුවාර බැගින් යැවීමට සමත්වූහ.

දඹුල්ල වයිකින්ස් පිලේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිල පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත් අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජොන්සන් සමත්විය.

මුහුණ දුන් 39 වැනි පන්දුවේදී අන්වර් අලීට එරෙහිව හයේ පහරකින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත් ජොන්සන් චාල්ස්ගේ පන්දු 56 කින් සමන්විත ලකුණු 76 ක ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් කරගත්තේය. ඔහුගේ එම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.

ජොන්සන් චාල්ස් සමඟ ඉනිම ඇරැඹි අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී වේගවත් ලකුණු 68 ක් රැස් කරමින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්හ. ඇන්ජලෝ පෙරේරාගේ සහාය ඇතිව අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුල්ල අන්වර් අලී විසින් දවා ගන්නා විට මනරම් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 26 කදී  ලකුණු 39 ක් ලබා සිටියේය.

ඉනිමේ සාර්ථකම සම්බන්ධතාවය ගිලිහී ගියද මිනෝද් භානුක වෙනුවට කණ්ඩායමට එක්ව සිටින චරිත් අසලංක චාල්ස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී වේගවත් ලකුණු 43 ක් එක් කරමින් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම වේගවත් කළේය.

13 වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 111 කට කඩුලු 2 ක් ලෙසින් ප්‍රබල ස්ථානයක පසු වුවද අසලංකගේ දැවී යෑමත් සමඟ යළිත් තරගය ආක්‍රමණය කිරීමට දඹුල්ල වයිකින්ස් පන්දුයවන්නෝ සමත් වූහ. ලකුණු 4 ක් ඇතුළත තිසර පෙරේරා සහ ෂොයෙබ් මලික් දෙදෙනාව දවා ගැනීම මත මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව ජැෆ්නා ස්ටැලියන්ස් පිලට අහිමිවිය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest