slc
logo
Home   |    News
දෙසැම්බර් 13, 2020
ස්ටැලියන්ස් අභියෝගයට වයිකින්ස්ගෙන් වෙනස්ම සැලසුමක්

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ලබන 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ සටනට සුදුසුකම් ලබන්නේ කුමන කණ්ඩායමද යන්න තේරීම වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (14 දා) ප.ව. 7 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ප.ව. 7 ට ආරම්භ වේ. මූලික තරග වටයේ තරග වැදුණු තරග 8 න් 5 ක් ජයගෙන ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටින දඹුල්ල වයිකින්ස් පිල මෙම තරගයේදී මුණ ගැසෙන්නේ තරගාවලියේ වඩාත් සැලසුම් සහගතව අවතීර්ණ වී සිටින ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.

ක්‍රීඩක තෝරා ගැනීමේ සිට මෙවර තරගාවලියේ වැඩිම පෙර සූදානමක් සහිතව අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් පිල ආරම්භයේ සිටම මනා සැලසුම් සහගතව තරග වැදිමින් පළමු තරග 4 ම පිට පිට ජය ගනිමින් අවසන් පූර්ව වටයට පළමුව සුදුසුකම් ලබාගත් කණ්ඩායම බවට පත්විය. එහෙත් ඔවුන් සමඟ තරග වැදීමට නියමිත දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකින්ස් පිල සතුව කැපී පෙනෙන තරු නැතත් තම තමන්ගේ වගකීම අකුරටම ඉටු කරමින් දෙවැනි තරග වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායමකි.

මෙම තරගය ඉලක්ක කරගනිමින් කණ්ඩායම් දෙකම මහින්ද රාජපපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (12 දා) රාත්‍රී කාලයේ පුහුණුවීම් වල නිරත වූහ. ඔවුන්ට අද (13 දා) දිනය විවේක දිනයක් වුවත්, අද දිනයේදී  පළමු අවසන් පූර්ව තරගය පැවැත්වීම හේතුවෙන් ක්‍රීඩාංගණය තුළ පුහුණුවීම් සඳහා අවස්ථාවක් නොලැබිණ. කෙසේ වෙතත් දෙපිළම සිය ශරීරක යෝග්‍යතාවන් කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන් සඳහා වෙන්ව තිබෙන කාර්යවර්ධනාගාරයේදී වූ ව්‍යායාම වල නිරත විය. එහිදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සවස් යාමයේදී පාපන්දු තරගයකද නිරත වීම කැපී පෙනුණි.

ජැෆ්නා ස්ටැලියන්ස්

ලීග් තරග වටයේ සහභාගිවුණු පළමු තරග 4 ම ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත් වුවත් දඹුල්ල වයකින්ස්ට එරෙහි තරගය හැරුණු විට අවසන් තරග 3 ම පරාජයට පත්ව සිටින කණ්ඩායමකි. දඹුල්ලට එරෙහි තරගය වර්ෂාවට බාධා වීම මත විසඳුමකින් තොරව අවසන් විය.

කණ්ඩායමේ වැඩි වගකීමක් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ තිසර පෙරේරා මත පැටවී තිබේ. ඔවුන් දෙපළට අමතරව ෂොයෙබ් මලික්, ටොම් මුවර්ස් සහ වනිඳු හසරංගගේ කණ්ඩායම තුළ පිතිකරුවන් ලෙසින් කැපී පෙනුණත්, නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම මෙන්ම ක්‍රීඩකයින් ආබාධවලට ගොදුරුවීම මත ඔවුන් පරාජයට පත් වුණු තරග 3 දී පිතිකරණ ඒකකය තුළ කිසියම් අස්ථාවර බවක් නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් ලීග් තරග වටය ගෙන බැලීමේදී සෙසු කණ්ඩායම් වලට පන්දු යැවීමේ අංශය ජැෆ්නා ස්ටැලියන්ස් පිලෙහි ශක්තිමත් භාවයක් පෙන්නුම් කර සිටීම හෙට තරගයට සුභදායී සලකුණකි. ඒ අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් කිරුළ දරා සිටින දඟ පන්දු යවන වනිඳු හසරංගගේ දක්ෂතා මෙතෙක් පැවැති තරගවලදී කැපී පෙනුණි. ලීග් තරග වටයේ තරග 8 කට ක්‍රීඩා කළ හසරංග කඩුලු 13 ක් බිඳ හෙළා සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 12.23 ක් ලෙසිනි. පන්දුවාරයකට ලකුණු 5.48 ක් තරම් අවම අගයක් රඳවා ගැනීමට සමත්වීම හරහා ප්‍රතිවාදී කණ්ඩායමේ වැඩිම අවධානයක් මේ දකුණත් පන්දු යවන්නා කෙරෙහි යොමුවන්නේ නිරායාසයෙනි. ඔහුට අමතරව උස්මාන් ශින්වාරි සහ සුරංග ලක්මාල්ද ප්‍රතිවාදී කණ්ඩායම්වල පිතිකරුවන්ට දැඩි අභියෝගයක් ගෙන දෙමින් පන්දු යැවූහ.

දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායමට එක්ව සිටින කයිල් ඇබොට් මෙන්ම ඩුවෑන් ඔලිවියර් තවමත් ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වුවද හසරංග ප්‍රමුඛ සෙසු පන්දු යවන්නන්ගේ දක්ෂතා දැක්වීමට සමත්වීම නිසා මොවුන්ගේ දක්ෂතා මඳ බව එතරම්ම කැපී නොපෙනිණ.

තිසර පෙරේරා

තරගය පිළිබඳව අදහස් දැක්වූ නායක තිසර පෙරේරා, අවසන් තරග 3 පරාජයට පත් වුවද එම තරගවලදී අවස්ථාව ලද නවක ක්‍රීඩකයින් අවසන් පන්දුවාරය දක්වා තරගය රැගෙන යෑමට සමත්වීම හෙට තරගයට ධනාත්මක ආකලපයක් එක් කර තිබෙන බවයි.

“අපි බැලුවොත් මුල් තරග කීපයේදී අපේ හොඳම සංයුතිය ක්‍රීඩා කළේ. පළමු තරග 4 දිනලා සෙමි ෆයිනල් ආවට පස්සේ තමයි අපි නවකයින්ට අවස්ථාව ලබා දුන්නා. විශේෂයෙන්ම බැලුවොත් අපි හැම තරගයකදීම නවක ක්‍රීඩකයකුට අවස්ථාව ලබා දුන්නා. අපි තරග පැරදුණත් ඒ නවක ක්‍රීඩකයින්යින් අන්තිම ඕවරය වෙනකම්ම අපි තරගය රැගෙන යෑමට සමත් වුණා. ඒ දේවල් දිහා බැලුවහම අපි හෙට තරගයේදී ඉතා හොඳ මානසිකත්වයකින් ඉන්නවා. නමුත් අපි හෙට තරගයේදී යළිත් අපේ මුල් කණ්ඩායම සමඟ අවතීර්ණ වනවා”.

“අපේ කණ්ඩායමේ තරග දිනවිය හැකි ක්‍රීඩකයින් පස් හය දෙනෙක්ම ඉන්නවා. ඒ දවසෙදි එක්කෙනෙක්ට වැඩ කළොත් ඕනෑම කණ්ඩායමකට අපිට හොඳ තරයගක් දෙන්න පලුවන්. පළමු තරග 4 දී ඒ 6 දෙනා තමයි අපිව ජයග්‍රහණය කරා අරගෙන ගියේ. මේ තරගයේදීත් මං හිතනවා ඔවුන් පළමු තරගවලදී වගේ හොඳින් දක්ෂතා දක්වලා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යයි කියලා”යි තිසර පැවැසීය.

අපේක්ෂිත කණ්ඩායම – අවිශ්ක ප්‍රනාන්දු, ටොම් මුවර්ස්, චරිත් අසලංක, ෂොයෙබ් මලික්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, උස්මාන් ශින්වාරි, බිනුර ප්‍රනාන්දු, සුරංග ලක්මාල්.

දඹුල්ල වයිකින්ස්

මෙතෙක් පැවැති ජයග්‍රහණ වලදී නායක දසුන් ශානකගේ දක්ෂතා කැපී පෙනුණු නමුත්, ජයග්‍රහණය කරන ලද තරග වලදී බොහෝ ක්‍රීඩකයින් ඒ සඳහා හවුල්වීම ලීග් තරග වටයේ කණ්ඩායම ලද සාර්ථකත්වයට හේතු වී තිබේ. දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩකයින් ගෙන බැලුවද එතරම්ම නම් දැරූ ක්‍රීඩකයින් නැතත් ඉහතින් සඳහන් කළ අයුරින් සිය වගකීම අකුරටම ඉටු කිරීමට සියල්ලෝ සමත්වී ඇත්තාහ.

තරග 8 කදී ලකුණු 273 ක් ලබා සිටින දසුන් ශානක මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයේ පසුවන්නේය. පන්දු යැවීමේදීද අවශ්‍ය අවස්ථාවේදී කණ්ඩායම වෙනුවෙන් යමක් කිරීමට ශානකට හැකිවීම මූලික වටයේ ලද සාර්ථකත්වයට දැඩි සේ හේතුවන්නට විය.

වෙනත් කණ්ඩායම් මෙන් ලොව ලීග් තරග වටයේ යටතේ බොහොමයක් තර වලදී ඔවුහු විවිධ සංයුතියන්ගෙන් සමන්විතව කණ්ඩායම් ඉදිරිපත් කිරීම විශේෂත්වයක් වුණු අතර ඒ සියල්ල සාර්ථකත්වයට පැමිණීමද කැපී පෙනුණි. විශේෂයෙන්ම ක්‍රීඩා කරන ලද ඒ සෑම සංයුතියක්ම තණතීරුවට අනුව අනුවර්තනය වීමට සමත්වීම එකී විශේෂත්වයට ප්‍රධාන වී තිබේ.

ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල, සමිත් පටෙල්, උපුල් තරංග මෙන්ම ඇන්ජලෝ පෙරේරා ලකුණු අතර සිටිමින් කණ්ඩායමේ පිතිකරණ ශක්තියට දායකත්වයක් ලබා දෙන අතර පන්දු යවන්න තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කටයුතු කරන රමේෂ් මෙන්ඩිස්ද පිතිකරුවකු ලෙස ලබා දෙන දායකත්වය අමතක කළ නොහැක. මූලික වටයේ ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව පැවැති තරගයේදී සමිඋල්ලා ශින්වාරි සමඟ තරග ජයග්‍රහණය කරා යෑමට රමේෂ් මෙන්ඩිස්ගේ පිතිහරඹය වඩාත් උපකාරී විය.

තරගාවලිය අතරතුර දඹුල්ල වයිකින්ස් පිලේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කළ චමිල ගමගේ මහතාගේ පියාණන් අභාවප්‍රාප්ත වී ඇති හෙයින් ඊට ගෞරව දැක්වීම පිණිස හෙට තරගයේදී දඹුල්ල වයිකින්ස් පිල කළු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිතය.

දසුන් ශානක

තරගය පිළිබඳව අදහස් දක්වන දසුන් ශානක සඳහන් කර සිටියේ වනිඳු හසරංගගේ පන්දු 24 දී අවම වශයෙන් ලකුණු 24 ක් පමණක් ලබා ගැනීමට හැකි වුවහොත් ඉතිරි ලකුණු සංඛ්‍යාව සෙසු පන්දු යවන්නන් හරහා ලබා ගනිමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ හැකියාව තම කණ්ඩායම සතු වන බවයි.

“වනිඳු (හසරංග) කියන්නේ මේ වන ඉන්න හොඳම පන්දු යවන්නා. එයා කොච්චර හොඳට පන්දු යනවාද කියන එක ගැන අපි දන්නවා. අපි ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ පන්දු වලට කඩුලු ලබා නොදී අවම වශයෙන් ලකුණු 24 ක්වත් ලබාගන්න. එහෙම පුලුවන් වුණොත් අනිත් පන්දු යවන්නන්ගෙන් අනිත් ලකුණු ටික ගන්න පුලුවන් කියලා අපි විශ්වාස කරනවා. වනිඳුගේ විශේෂත්වය තමයි ඕන වෙලාවක කඩුලු දවා ගැනීමට තියෙන හැකියාව. එයා කඩුලු ගන්න හැම වෙලාවකම පන්දුවට පහර දෙන කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය පස්සට යනවා” සිය ප්‍රධානතම සතුරා පිළිබඳව දසුන් අදහස් දැක්වීය.

“අන්තිමට ක්‍රීඩා කරපු තරගයේදී අපි වෙනස්කම් 5 ක් එක්කයි තරග කළේ. විශේෂයෙන් කසුන් රාජිත සහ රමේෂ් මෙන්ඩිස් නැතුව. ඒ දෙන්නා ක්‍රීඩා කරනවා කියන්නේ ඔවුන් පන්දුවාර 8 ක් යවනවා. ඒ පන්දුවාර සංඛ්‍යාව ඒ තරගයේදී යැව්වා නම් මීට වඩා වෙනසක් බලාපොරොත්තු වෙන්න තිබණා. ඒ වගේම ළහිරු කුමාරත් ඉතා හොඳින් පන්දු යවනවා. මම හිතන්නේ අපිට තියෙන ලොකුම ශක්තිය තමයි එකිනෙකට වෙනස් දක්ෂතාවයන් යුතු ක්‍රීඩකයින් සිටීම. ඒ විශ්වාසය අපිට ඇවිල්ලා තියෙන්නේ අලුත් ක්‍රීඩකයින්ට තරගවලට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දුන්න නිසයි. සමහර පිතිකරුව් ඉන්නවා හැම පන්දු යවන්නන්ටම ක්‍රීඩා කරන්න අපහසු. ඒ නිසා ඒ වාසිය නායකයකු හැටියට මට මේ තරගයේදී මට තියෙනවා” යි දසුන් වැඩිදුරටත් අදහස් දැක්වීය.

අපේක්ෂිත කණ්ඩායම – නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, සමිත් පටෙල්, දසුන් ශානක (නායක), සමිඋල්ලා ශින්වාරි, රමේෂ් මෙන්ඩිස්, මාලින්ද පුෂ්පකුමාර, අන්වර් අලී, කසුන් රජිත ළහිරු කුමාර.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar